කුමන රජයක් පැමිණියත් මුහුණ දීමට සිදුවන ආහාර ද්‍රව්‍ය අසාධාරණමිල වැඩිවීමට මෙම ඩිජිටල් වේදිකාව ස්ථිරසාර විසඳුමක්

මෙරටට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන ආහාරද්‍රව්‍ය, ඒවායේ
ප්‍රසම්පාදනය ඇතුළුසියලු තොරතුරු සහිත නව ඉලෙක්ට්‍රොනික
වේදිකාවක් – ක්‍රම සහ විධි කාරක සභාවේ මැදිහත්වීමෙන් අදාළ
යෝජනාවලිය සති තුනකින් පාර්ලිමේන්තුවට….
කුමන රජයක් පැමිණියත් මුහුණ දීමට සිදුවන ආහාර ද්‍රව්‍ය අසාධාරණ
මිල වැඩිවීමට මෙම ඩිජිටල් වේදිකාව ස්ථිරසාර විසඳුමක් බවත්
සාකච්ඡා වෙයි
ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන අල, ලූනු ඇතුළු
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළුසියලු තොරතුරු ඇතුළත් නව
ඉලෙක්ට්‍රොනික වේදිකාවක් නිර්මාණය කිරීමට අදාළ පූර්ණ යෝජනාවලියක්
සති තුනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රම සහ
විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාඨලි චම්පික රණවක මහතා (08) එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී පැවසීය.
ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වූ මිලට වඩා විශාල වශයෙන් වැඩි
මිලකට මෙරට පාරිභෝගිකයාට විකිණීම සිදුවන බැවින් ඒ සදහා මෙම විවෘත
ඩිජිටල් වේදිකාව ඉතා හොද විසඳුමක් බව ද කාරක සභා සභාපතිවරයා
පෙන්වා දුන්නේය.
මෙහිදී අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණයන් වන හසිත අබේවර්ධන
මහතා සහ නලින්ද ජයවර්ධන මහතා මේ පිළිබඳව කාරක සභාවේදී පැහැදිළි
කිරීමක් (Presentation) සිදුකළ අතර මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහ
බැංකුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, රාජ්‍ය
පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ශ්‍රී
ලංකා රේගුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන රාජ්‍ය ආයතනවල
නිලධාරීන් මෙන්ම තොග/ ආනයන වෙළෙඳ සංගම් නියෝජිතයන් සහ
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද කැඳවා තිබිණ.


ලෝකයේ රටවල් ගණනාවක මෙම ක්‍රමය සාර්ථකව භාවිතා වන බවත්
විශේෂයෙන් ඉන්දියාවේ මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මෙහිදී
අනාවරණය විය. එමගින් පාරිභෝගික සුබසාධනය සැපිරෙන අයුරින්, ඩිජිටල්
කාර්යක්ෂම යාන්ත්‍රණයක් මගින් අල ලූනු පරිප්පු ඇතුළු සියලු අත්‍යවශ්‍ය
ආහාර ද්‍රව්‍යවල පවතින අවශ්‍යතාව,එම ආහාර ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය සහ
ආනයනය කළ යුතු ප්‍රමාණයන් පිළිබඳ සියලු දත්ත විවෘත වේදිකාවකට ගනු
ලබන අතර විනිවිදබවකින් යුතුව තරඟකාරිව ඒවා ආනයනය කිරීමට ද මේ
හරහා ආනයනකරුන්ට ද අවස්ථාව හිමිවේ. එසේම ආනයනයෙන් අනතුරුව
මෙම ආහාර ද්‍රව්‍ය තොග වෙළෙන්දන් අතරමැදියන් සහ සිල්ලර වෙළෙන්දන්
යන සියලු දෙනා අතට පත්වන මිල ගණන් ඇතුළු සම්පූර්ණ දත්ත මේ අනුව
සියලු ජනතාවට විවෘත වන බවද අනාවරණය විය.

එබැවින් මෙම ක්‍රමය හරහා පාරිභොගිකයාට තමා විසින් මිලදී ගනු ලබන
ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ මිල ඇතුළු සියලු විස්තර දැනගැනීමේ හැකියාව
ලැබේ.
මෙහිදී යෝජිත අත්‍යවශ්‍ය භාණ්ඩ කොමිෂන් සභාව අදාළ සියළු රාජ්‍ය
ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත පූර්ණ බලැති කොමිසමක් ලෙස
ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන අතර, විවෘත ක්‍රමයක් යටතේ සාධාරණ
ලාභයක් ආනයනකරුවන් සහ වෙළෙඳුන් වෙත ලැබෙන පරිදි වෙළෙඳපොළ
සහ අනෙකුත් ක්‍රියාකාරීත්වයන් සළකා බලා ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක්
සැකසීම සිදුවේ. එසේම දැනට ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය, විවෘත වෙළෙඳපොළ
ක්‍රමයක් තුළ අසාර්ථක බවත්, එමගින් ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා
බලපෑමක් සිදුවන බවත් ආනයනකරුවෝ පෙන්වා දුන්හ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතු වන අරමුණු සහ බලතල අනුව
එම අධිකාරියට මෙවැනි යාන්ත්‍රණයක් සැකසීමේ නීත්‍යානුකූල හැකියාවක්
නොමැති බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කරන්නේ භාණ්ඩ
ආනයනය කිරීමෙන් පසු කරුණු සළකා බලා සාධාරණ මිල ක්‍රමයකට
පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා මැදිහත් වීම බව ද ප්‍රකාශ විය.
මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් පැමිණ සිටි සියලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම
මෙරටට ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද සුබවාදීව
අදහස් පළ කළහ.
තවද මුදලින් ගෙවීම් කිරීමට වඩා ඩිජිටල් ක්‍රමවලින් ගෙවීම් සිදු කිරීම සඳහා
මහ බැංකුව විසින් දිරිගැන්වීම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත්,
ඉන්දියාවේ ක්‍රමය ඒ සඳහා ආදර්ශයට ගත හැකි බවත් සභාපතිවරයා මෙහිදී
පෙන්වා දුන්නේය. එමගින් බදු ගැටලු අවම වන බවත්, ආදායම දෙගුණයකින්
වැඩි කර ගත හැකි බවත්, අවධාරණය කළ ඔහු ක්‍රම සහ විධි පිළිබඳ
කාරක සභාව ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළ බව ද කියා
සිටියේ ය.
මේ අනුව යෝජිත ඩිජිටල් යාන්ත්‍රණය ප්‍රායෝගික ද යන්න හා පවත්නා ගැටලු,
විසඳුම් සහ ප්‍රගතිය සඳහා වන යෝජනා සති දෙකක් ඇතුළත කාරක සභාව
වෙත ලබා දෙන ලෙස ද, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී
චම්පික රණවක මහතා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
ගල් අඟුරු, ඉන්ධන, ඖෂධ සහ පොහොර ප්‍රසම්පාදනය යන රජයේ ප්‍රධාන
ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ඩිජිටල් වේදිකාවකට ගෙන ඒම තුළින් ඩිජිටල් යටිතල
පහසුකම් සංවර්ධනය කිරීම මෙහි මීළඟ පියවර වන බව ද හෙතෙම පෙන්වා
දුන්නේ ය. මේ හරහා ඇතිවන විනිවිදබව හරහා දූෂණයට වැට බැඳීම සිදු
වන බව ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම මේ හරහා
මිල පමණක් නොව ගුණාත්මක බව හා ප්‍රමිතිය පිළිබඳව ද ඇගයීමක් සිදුවන
බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි සති තුනක කාලය තුළ මේ සම්බන්ධ
විධිමත් යෝජනා මාලාවක් රජයට සහ සියලු දේශපාලන පක්ෂවලට ඉදිරිපත්
කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව රට පවතින තත්ත්වයෙන් ගොඩ
ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එසේම යෝජිත ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී
සාකච්ඡා විය. වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු නිලධාරීන්
මේ සඳහා කැඳවා තිබිණ. එම දෙපාර්තමේන්තුව විසින් යෝජිත ජාතික
තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධ ඉදිරිපත් කිරීමක් සභාව හමුවේ තැබූ අතර,
අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සඳහා වූ ලෝක බැංකු යෝජනාවන්
අනුව මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබිණ. මෙහිදී කාරක සභා සභාපති පාඨලී
චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ඉන්දියාවේ මෙන් තීරුබදු ක්‍රියාවලිය
ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම තුළින් බදු ඉහළ
නංවාලීමකින් තොරව තීරු බදු ආදායම 100% කින් ඉහළ නංවා ගත හැකි බව
ය. එමෙන්ම, අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සඳහා විදුලිබිල අඩු කිරීම
හා අතරමැදි භාණ්ඩ සඳහා අඩු තීරු බදු ප්‍රතිශතයක් පවත්වා ගෙන යාමේ
අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර,
ගරු අශෝක් අබේසිංහ, ගරු සංජීව එදිරිමාන්න, ගරු උදයන කිරිඳගොඩ, ගරු
වසන්ත යාපා බණ්ඩාර හා ගරු ගාමිණී වලේබොඩ යන මහත්වරුන් ද
සහභාගී වූහ.

You may have missed