ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුනට සුදුසුකාන්තාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය සමගිජන බලවේගයෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වි
ඇති මන්ත්‍රී අසුන සඳහා සුදුසු කාන්තාවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ
සංසදයයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ගරුගසුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමගි ජන
බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින්
ඉල්ලා සිටී.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති රීට් ආඥාව සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරී බලයට ගරු
කරමින් අදාල තීන්දුව අභියෝග නොකරන බව සඳහන් කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ
සංසදය අවධාරණය කරනුයේ එම තීන්දුව හේතුකොට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ
සාමාජිකයෙකු අහිමිවීමේ සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවදුරටත් අඩුවීම පිළිබඳව දැඩි ලෙස
කනස්සල්ලට පත් වන බවයි.
කාන්තාවගේ අත්දැකීම් දැනුම සහ ඉදිරි දර්ශනය සමාජයේ සියලූම සාමාජිකයින්ට ප්‍රයෝජනවත් වන
ප්‍රතිපත්ති සැකසීම සඳහා දායක වන බැවින් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඵලදායි
ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වැදගත් වන බවත් එනිසා ඩයනා ගමගේ මහත්මියගෙන් හිස්වුණු ආසනය සඳහා
වෙනත් සුදුසු කාන්තාවක් පත්කිරීම සම්බන්ධව සලකා බලන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.
එමඟින් ඩයනා ගමගේ මන්ත්‍රිවරිය ඉවත් කිරීමෙන් ඇතිවන අහිතකර බලපෑම අවම කර ගත හැකි වනු ඇති අතර
පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ විවිධත්වය සඳහා පාර්ලිමේන්තුවේ කැපවීම තහවුරු
කළ හැකි වනු ඇති බවද මන්ත්‍රිවරියන්ගේ සංසදය පෙන්වා දෙයි.
එමගින් පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ අවම නියෝජනය පිළිබඳ ඇති ගැටළුව විසඳීම පමණක් නොව ස්ත්‍රී
පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට සහ නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා
පාර්ලිමේන්තුවේ කැපවීම පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දෙනු ඇති බවද එම ලිපියේ සඳහන්වේ.

එනිසා උක්ත කරුණු පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ හඬට කන්දීමටත් එය අගය
කිරීමටත් සුදුසු පියවර ගනු ඇතැයි තම සංසදය විශ්වාස කරන බවද මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සමගි
ජන බලවේගයේ මහ ලේකම් වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.

You may have missed