ගමේ මිනිහගේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක් තිබෙනවා නම්, එය අධ්‍යයනය කරලා ගමේ පුද්ගලයාට සාධාරණ, සුදුසු ක්‍රමයක් අපි හදනවා-නීතිඥ සුනිල් වටගල

ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව – 2024.05.10

මේ මොහොත ජාතික ජන බලවේගයට හා එහි නායකත්වයට සැලකිය යුතු මට්ටමක පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක්. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂික නායකයන්, පොහොට්ටුව හා සමගි ජන බලවේගයේ පාර්ශ්වයන් එකතු වෙලා අපේ නායකත්වය පාවිච්චි කරන වචනවල ඇත්ත අර්ථයන් වෙනුවට විකෘති අර්ථයන් ඉදිරිපත් කරමින් එල්ලි එල්ලී එනවා. පසුගිය දිනෙක ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත සහෝදරයා මැයි දිනයේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කර ගනිමින් මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්නවා. සමස්ත කතාවේ අර්ථය වෙනුවට උපුටා ගත් කොටස් කිහිපයක් ගැන කියවමින් ඇත්ත අර්ථය යටපත් කරන්න උත්සාහ දරනවා. ලාල් කාන්ත සහෝදරයා “ගමට අධිකරණ බලය දෙනවා. යුක්තිය පසිඳලීමේ අයිතිය ගමට දෙනවා’ යැයි ප්‍රකාශ කළ බවට චෝදනාසහගත මතයක් ඉදිරිපත් කරනවා. වේදිකාව තුළ කළ සමස්ත කතාවේ හරය ඉදිරිපත් නොකරමින් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විකෘති මතයක් සමාජගත කරනවා.

ජාතික ජන බලවේගය ලෙස අපි කල්පනා කරනවා මේ තිබෙන නීති රාමුව වෙනස් විය යුතුයි කියලා. එපමණක් නොවෙයි අපේ ආණ්ඩුක්‍රමයක් යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් සකස් කරනවා. අපි බලයට ආ විගසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපහසුයි. ඒ නිසා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ටික දුරක් යා යුතු වෙනවා. ඒ යද්දී මේ නීති රාමුව ඇතුලේ ජනතාවට වාසි සහගත වන ක්‍රමයක් තිබේනම් එය ජාතික ජන බලවේගය අනුගමනය කරනවා. ගමේ මිනිහාගේ ප්‍රශ්න සරලව බේරා ගන්න ක්‍රමයක් තිබෙනවා නම්, ඒ ක්‍රමය අධ්‍යයනය කරලා ගමේ පුද්ගලයාට සාධාරණ ක්‍රමයක් අපි හදනවා. එය සිදුවිය යුතුයි. ලාල් කාන්ත සහෝදරයාගේ කතාවේ සමස්ත අර්ථය ගත්තා නම් එය ඉතා හොඳින් පැහැදිලි වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව සඳහන් වෙනවා. ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි “ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය.” ලෙස සඳහන් වෙනවා. මේ පරමාධිපත්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල පාලනයේ පහසුව තකා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා තිබෙනවා. ’අධිකරණය’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනුව ජනතා බලය මත ක්‍රියාත්මක වෙන ආයතනයක්. ජනතාවට යුක්තිය පසිඳලන්න පාලනයේ පහසුව තකා කොටස් කිහිපයකට බෙදාගෙන තිබෙනවා. ඉහළම එක ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ලෙස පහළට පද්ධතියක් විහිදී යන ආකාරයෙන් සැකසී තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයට පහළින් ක්‍රියාත්මක වෙන අධිකරණයට සහාය දක්වන ඒකක කිහිපයක් තිබෙනවා.

උදාහරණයක් ලෙස, ගොවිජන සේවා පනත, ක්‍රියාත්මක වෙන්නේ මහේස්ත්‍රාත් උස්වියකින් නොවේ. ගොවියාගේ ‘ඇළවේල්ලේ’ ප්‍රශ්නය බේරා ගන්නේ ගමේ ගොවි සමිතියෙන්. එයට අදාළ බලය ගමේ ගොවි සමිතියට ලබාදී තිබෙනවා. සමුපකාර සම්බන්ධ ගැටලුවක් පැන නැගි අවස්ථාවක, තීරක ඡන්දයක් පවත්වා ඒ ගැටලුව විසඳා ගන්න සමුපකාර පනත ඇතුලේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම සමථ මණ්ඩලය තුළිනුත් ගැටලු විසඳා ගැනීමේ අවස්ථා තිබෙනවා. අධිකරණයෙන් සමථ මණ්ඩලයේ සහතිකය ඉල්ලනවා. සමහර ගැටලු අධිකරණයෙන් මෙන්ම පොලිසියෙන්ද සමථ මණ්ඩලයට යොමු කරනවා. එහිදී සමථ මණ්ඩලයට “නිරවුල් නොකිරීමේ සහතිකයක්” නිකුත් කිරීමට බලය තිබෙනවා. සමථ මණ්ඩලයට යම් අධිකරණමය බලයක් තිබෙනවා. “බේරුම්කරණය” කියන්නෙත් එවැනිම ක්‍රියා මාර්ගයක්. මේ පහළ තිබෙන පොලිස්වල තත්වය තවදුරටත් දියුණු කර ගැනීමට හැකියාව තිබෙනවා නම්, එයට කිසිවෙක් අකමැති වෙන්නේ නැහැ. අන්න ඒ අදහසින්, යම්කිසි ව්‍යුහයක් හදලා එයට බලය දෙන්න කියන එකයි මේ ලාල් කාන්ත ප්‍රකාශ කරන්නේ. ජාතික ජන බලවේගයේ සාමජිකයන්ට බලය දෙන්න ගන්නා උත්සාහයක් ලෙස ප්‍රතිවාදීන් එය අර්ථ ගන්වන්න, බාල ගණයේ උත්සාහයන් ගනිමින් ඉන්නවා.

ජාතික ජන බලවේගය ඉන්නා තැන හැමෝම දන්නවා. සතුරන් දැඩිලෙස කළබල වෙලා ඉන්නවා. ඒ කළබල වීම නිසාම අපේ වචන විකෘති කරමින් ඉන්නවා. සතුරාගේ මේ අවලාද අපි බැහැර කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස, අපේ ක්‍රමයක් යටතේ නියම නීති පද්ධතියක් ගෙන එන්නේ කෙසේද, කියන කාරණාව අධ්‍යයනය කරමින් සිටිනවා. ජනාධිපතිවරණය අභියස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බලන්න කියන ඉල්ලීම කරනවා.

“සත්‍යය ගමනක් යන්න ලැහැස්ති වෙනකොට, බොරුව ලෝකෙ වටේ තුන් පාරක් ඇවිදලා, ගෙදරත් ඇවිල්ලා” කියලා කියමනක් තියෙනවා
නීතිඥ හර්ෂණ නානායක්කාර

කියමනක් තියෙනවා “සත්‍ය ගමනක් යන්න ලැහැස්ති වෙනකොට, බොරුව ලෝකෙ වටේ තුන් පාරක් ඇවිදලා ගෙදරත් ඇවිල්ලා” කියලා. අද මාලිමාවට එරෙහිව ප්‍රතිවාදීන්ගේ අසත්‍ය සමාජගත කිරීමේ වේගය වැඩිවෙලා තිබෙනවා.

මම පළමුවම කියන්නේ ලාල් කාන්තගේ කතාව මුල සිටම අහන්න කියලා. ඒක විනාඩි 42ක කතාවක්. ඔබලා දකින්න, අහන්න ඇත්තේ විනාඩි එක හමාරක සංස්කරණය කරන ලද කොටසක්. ලාල් කාන්ත ඉදිරිපත් කරන්නේ ඉතා දියුණු නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. බලය කියන එකෙන් ජනතාව බල ගන්වන්නේ කොහොමද කියන කාරණාව. බලය පහළට බෙදීයාමේ අදහස ජාතික ජන බලවේගයේ ගමේ පස්දෙනෙක් බෝක්කුවක් උඩට එකතුවෙලා නඩුවක් අහන එක නොවෙයි. නමුත් ප්‍රතිවාදීන් මාධ්‍යයට ඇවිත් කියන්න උත්සාහ ගන්නේ ඒක. නීතියේ විධානයේ ආධිපත්‍යයේ තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නීතියට ප්‍රවේශවීමට ඇති හැකියාව. ^access to Justic) පුද්ගලයෙකුට රජයට හෝ පොලීසියට එරෙහිව තමන්ගේ නීතිමය අයිතිවාසිකම් සහතික කරන්න පුළුවන්, තත්වයක් ඇති කිරීම. යුක්තියට ප්‍රවේශවීමට යාමේදී ඇති වෙන ප්‍රධාන බාධාවක් තමයි ඒකට යන අධික වියදම සහ කාලය. ඒ නිසා පුද්ගලයන් තමන්ගේ අයිතිවාසිකම් කඩවුණාම විසඳා ගැනීමට, අධිකරණය යාමට උත්සාහ කරන්නේ නැහැ. යාපනයේ, හම්බන්තොට, අනුරාධපුර සිටින පුද්ගලයන්ට සුප්‍රීම් කෝට් උසාවියකට ඉදිරිපත් වෙන්න, අනිවාර්යයෙන් කොළඹට පැමිණිය යුතු වෙනවා. එය ඉතාම අපහසු තත්වයක්. එවන් අවස්ථාවක ජනතාව වෙත යුක්තිය ගෙනයාම සඳහා අපට පළාතකටත් සුප්‍රිම් කෝට් එකක් ලබාදිය හැකිද කියන සාකච්ඡාවකට යා හැකියි.

ජාතික ජන බලවේගයේ නීතිඥයන් වෙන අපි දන්නවා මේ ක්‍රමය, මේ රට ආ ගමන් මග වෙනස් කරන්න ඕන බව. එහි ප්‍රධාන කොටසක් තමයි, නීතියේ විධානයේ ආධිපත්‍යය. නීතියේ හා උසාවියේ දුර්වලතා තිබෙනවා නම් ඒවා වෙනස් කරගන්න පියවර ගන්න ඕන. ජාතික ජන බලවේගයේ අපි කිසිදු නීතියක් ඒකමතිකව තීරණය කර, ක්‍රියාවට නඟන්න හදන්නේ නැහැ. අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කොට පසුව තීරණ ගන්නවා. ඉන්දියාවේත්, බංගලාදේශයේත් යුක්තියට ප්‍රවේශවීමට පහසු කිරීම සඳහා සුළු සුළු නඩු විසඳා ගැනීමට ගම්වල උසාවියක් (ඪසක්ටැ ජදමරඑ) තිබෙනවා. මේවායින් නීතිමය පුහුණුව ලත් නිලධාරීන් හරහා ගම තුළ සිදුවෙන සුළු අපරාධ විසඳා ගැනීම කර ගන්නවා. එවැනි, යුක්තිය පහළට ගෙනයාමක් ගැන තමයි ලාල් කාන්ත සහෝදරයා එදා පැහැදිලි කළේ. එයින් යන වියදම් අඩුවීම, ප්‍රධාන උසාවිවල නඩු ගොඩගැහීමේ ප්‍රවණතාවය අඩුවීම වැනි වාසි තත්වයන් ඇති වෙනවා. යුක්තියට ප්‍රවේශවීම කියන්නේ මේ වාසි පමණක්ම නොවෙයි. මිනිසුන් බලාත්මක කිරීම සඳහා නීතියේ ආධාර ප්‍රමාණය වැඩි කිරීමට සමහර අවස්ථාවල සිදුවෙනවා. නීතියේ ආධාර මහේස්ත්‍රාත් උසාවියට අනිවාර්ය නැහැ. ජනතාව බලාත්මක කිරීමට අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් හදා ගන්න අපි උත්සාහ කරනවා. නමුත් සජබ ඇතුළු දේශපාලන ප්‍රතිවාදීන් විසින් එය විකෘති කරමින් යනවා. ඒ වගේම සම්මුඛ සාකච්ඡාවකදී නීතිඥවරුන්ට, අධිකරණයට අපහාස කළ බවට කතාවක් ගොඩනගමින් ඉන්නවා. යම් යම් නීතිඥවරුන් විසින් කරන ලද ප්‍රකාශවලට ඔහු විවේචන එල්ල කළා. ඔවුන් දේශපාලන වාසි සඳහා සත්‍ය දේවල් විකෘති කරනවා.
අපි ගමේ තිබෙන ධීවර සමිතියක් උදාහරණයකට ගනිමු. ධීවර ජනතාවගේ ගැටලු ඔවුන්ගේ ධීවර සමිති හරහා අධිකරණයක් නොවන ව්‍යුහයක් තුළින් විසඳා ගන්න පුළුවන්. අධිකරණ ක්‍රමයට වඩා එය වෙනස්. අවශ්‍ය වන්නේ ගම දක්වා විහිදී ගිය ජනතාව බලාත්මක කරන පරිපාලනමය ආකෘතියක්. අලුත් ආකෘතින් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඉදිරියේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගය විය යුත්තේ කෙසේද යන්න සාකච්ඡාකර බලනවා.

ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදියි නම්, මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත් බද මහාධිකරණය පිහිටුවන අවස්ථාවේ.
නීතිඥ හේමක සේනානායක – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සභාපති

ලාල් කාන්ත සහෝදරයා පැහැදිලි කිරීමට උත්සාහ කළේ, බලය බෙදීමේ සංකල්පයේ ගැඹුරු තත්වයක්. ලංකාවේ බලය බෙදීම පිළිබඳව අධිකරණය ගැන පමණක් නොවෙයි, අපි දශක ගණනාවක සිට සාකච්ඡා කරමින් යනවා. විජේවීර සහෝදරයා උතුරු නැගෙනහිර තිබෙන ගැටුම් සම්බන්ධයෙන් තිබෙන විසඳුම් මොනවාද යන්න “ඊළාම් අරගලයට විසඳුම්” පොතේ කරුණු දක්වා තිබෙනවා. බලය බෙදීම පිළිබඳව 1988 සිට සාකච්ඡා කරමින් යනවා. ඒකට විසඳුමක් ලෙස තමයි පළාත් සභා හඳුන්වා දුන්නේ. රටක ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඔවුන් සතු වෙනවා. එය අන්සතු කිරීමක් කරන්නට බැහැ. පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණ බලය හරහා ක්‍රියාත්මක වෙනවා.

අධිකරණවල යුක්තිය පසිඳලීම සඳහා ගතවන කාලය සහ ඒ සඳහා වන මූල්‍යමය වියදම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට අපි අවධානය යොමුකොට තිබෙනවා. අපේ රටේ බෙදුම් නඩුවක්, ඉඩම් නඩුවක් දැම්මොත් පරම්පරාවකටම නඩු කියන්න සිදුවෙනවා. මෙතරම් කාලයක් ගත වෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා නඩු කීමේ කාර්යයන් වඩා කාර්යක්ෂම කිරීමේ යෝජනාවන් එළිදැක්වීමට. අධිකරණවල කාර්යාල පහසුකම් නැහැ, සේවක පහසුකම් පිළිබඳ ගැටලු තිබෙනවා. ස්ටැනෝ ග්‍රැෆර්ස්ලගේ, පිස්කල්ලාගේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. දශක ගණනාවක් පැරණි 1977 හදන ලද බෙදුම් නඩු නීතිත් එක්ක 2024දීත් වැඩකරනවා. බෙදුම් නඩුවල අඬබෙර ගැසීම් සිදුවෙනවා. මැෂින් මාස ගණනාවක් තිස්සේ කැඩී තිබෙනවා. මේ හේතු නිසා මුදල් වියදම් වීමක් සහ කාලය වැයවීමක් සිදුවී තිබෙනවා. සමහර නඩු සහ සමහර නීති තත්වයන් කොළඹම පමණක් අසනවාය කියන තත්වයක් හේතුකොටගෙන පුද්ගලයන්ට සිදුවන අලාභය සහ කාලය ගතවීම දැඩිලෙස උග්‍රවී තිබෙනවා. පළාත්බද මහාධිකරණ පිහිටුවීමට පෙර බලය තිබුණේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවලට. අභියාචනා කිරීමේ බලය අධිකරණයටත් ඉන් ඉහළට ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලය තිබුණා. නඩුවල ප්‍රමාදය සමහර අවස්ථාවලදී අවුරුදු දහය, දොළහ දක්වා ඉදිරියට යන්න පටන් ගත්තා. මේක දැකපු නීති ක්ෂේත්‍රයේ අය තීරණය කළා නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය ගමට ගෙනයා යුතුයි කියලා.

ලාල් කාන්ත සහෝදරයා වේදිකාවේ ඉදිරිපත් කළේ දීර්ඝ කාලයක් මේ රටේ සිදුවූ දෙයක්. ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදියි නම්, මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත් බද මහාධිකරණය පිහිටුවන අවස්ථාවේ. අධිකරණයක නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන තරමට, යුක්තිය ඉෂ්ට වීමත් ප්‍රමාද වෙනවා. මේ නිසා පළාත් බද මහාධිකරණ පිහිටුවීම සිදුවුණා. පළාත්බද මහාධිකරණ පිහිටුවීම නිසා නඩු ඇසීමේදී සිදුවන ප්‍රමාදය විශාල ලෙස අඩු වුණා. ඒ වගේම පළාත් බද මහාධිකරණවල සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවබමින් බලය ලබාදීමක් සිදුකරනු ලැබුවා. කොළඹට ඒකාග්‍රවී තිබුණු බලය ගමට යන්න පටන් ගත්තා. ඒ නිසාම අභියාචනය ඇසීම සඳහා අනුරාධපුර සිට පැමිණි පුද්ගලයා හෝටලයක නතරවෙලා දවස් ගණන් ගතකරමින් සිට යන එක නතර වුණා. සමථ මණ්ඩලය හරහාත් සිදුවන්නේ මේ ආකාරයේම ක්‍රියාවලියක්.
ඉන්දියාවේ පංචායත් ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථකය කරගෙන යනවා. මේ නිසා අපි විශ්වාසය තබනවා ප්‍රාදේශීකව යුක්තිය පසිඳලීමේ වඩාත් වැදගත් පැහැදිලි ක්‍රමවේදයකට යන්න. මූලික අයිතිවාසිකම් නඩුවක් ඇසීමේ බලය තිබෙන්නේ කොළඹට පමණයි. මේ බලය පළාත් බදව යන්න ඕන කියන සාකච්ඡාවක් තිබෙනවා. පුරාණයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාදේශිකව කටයුතු කරනු ලැබුවා. මේ යුක්තිය පසිඳලීම ප්‍රාදේශිකව ගමන් කිරීම තුළිනුත් ඒ අයට වාසියක් සිදුවෙනවා. නඩුවකදී පොලිස් පැමිණිල්ලක් ගන්න විදිහක් නැහැ, සැලැස්මක් ගන්න තේරුමක් නැහැ. නඩුවක් කියන්න ගියාම පුද්ගලයින් විශාල දුකක් විඳිනවා. ඒ නිසාම මිනිස්සු අධිකරණයට යොමුවීමේ ගැටලුවක් පැන නැගී තිබෙනවා. මේ අනුව බලය බෙදීමක් සිදුවෙන්න ඕන.

අද සොයන්න ඕන මෙවැනි ප්‍රශ්න නොවෙයි. ඩයනාගේ නඩුව පිළිබඳ තීන්දුවක් දෙන්න කොපමණ කාලයක් ගත වුණාද? විදේශික කාන්තාවක් රටේ මන්ත්‍රීවරියක් වුණේ කොහොමද? එයා ජාතික ලැයිස්තුවට වැටුණේ කොහොමද? ජනාධිපතිවරයා විදේශික කාන්තාවක් රටේ රාජ්‍ය ඇමතිවරයෙක් කළේ කෙසේද? ඇය පක්ෂයක ලේකම් කෙනෙක් වුණේ කෙසේද? ඇය මේ රට තුළ තිබෙන පාර්ලිමේන්තු වරප්‍රසාද, ඇමතිවරියකගේ වරප්‍රසාද භුක්ති වින්දේ කොහොමද? මේව තමයි බරපතළ ප්‍රශ්න. “නයෙක් රෙද්ද අස්සේ දමාගෙන කනව කනවා” කියන එක නොවයි සිදුවිය යුත්තේ. සමගි ජන බලවේගය විසින් ඇය විදේශ කාන්තාවක් බව දැන දැනම පාර්ලිමේන්තු අසුනක් දුන්නේ කොහොමද? ජනාධිපතිවරයා විසින් රටට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් රටේ සංචාරක රාජ්‍ය ඇමතිනිය බවට පත්කොට තිබෙනවා. මේක ඉතාම බරපතළ, අති භයානක හා හෙළා දැකිය යුතු තත්වයක්. මෙය ඔබෙත් මගෙත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් හැටියට මගේ යෝජනාව වන්නේ මෙවැනි දේ ගැන අවධානය යොමු කළ යුතුයි.

අධිකරණ බලය විමධ්‍යගත කරන එකේ බයවෙන්න තිබෙන හේතුව මොකක්ද?
නීතිඥ අකලංක උක්වත්ත

බලය සංකේන්ද්‍ර නොවී විමධ්‍යගත විය යුතුයි කියලා මැයි දින සමස්ත කතාව තුළ ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශ කරන කොට 1600-1700 ගණන්වල සිටි චාල්ස් ඩී. මොන්ටෙස්කි්‍යු කියලා තියෙනවා නීතිය නිදහස් වෙන්න නම් සංකේන්ද්‍ර නොවිය යුතු කියලා. 2024දි කියනකොට බලය විමත්‍යගත විය යුතුයි කියලා ඒකට එරෙහිව ප්‍රකාශයන් ඉදිරිපත් කරනවා බොරු බයක් හදනවා. සමස්ත කතාවේ තිබුණා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද අපි ඔසවන්නේ කියන එක හා, සවිබල ගන්වන්නේ කොහොමද කියන එක. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ස්ථාපිත කරන්නේ කියන එක. ස්ථාපිත නොවුණු කාරණයක් ගැන කිව්වා. පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් පත්කර ගන්න ඕනෙ කිව්වා. මේක චීනෙ හෝ කියුබාව නොවෙයි, මේක බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා, මේ රටේ තවදුරටත් තිබෙන්න ඕන කිව්වා. මේ සියල්ල ප්‍රකාශ කරමින්, අධිකරණ බලය විමධ්‍යගත කරන්න ඕන කියන කොට එය අල්ලාගෙන කාලගෝට්ටියක් කරනවා. සමාජයට අපි ගැන බයක් හදනවා.

අපි මේ සියල්ල කරන්නේ අපි බලයට පත්වෙලා පසුවදාම නොවෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළිනුයි මෙය කළ හැකි වන්නේ. නව ව්‍යවස්ථාව හදනකොට අපි විසින් යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරනවා නම්, ඒ වෙනුවෙන් විශේෂඥ සහාය ලබා ගන්නවා. මේවා සිදුවෙන්නේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා නීති තුළින් පමණයි. ඒ නිසා අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගන්වනවා යන්න පිළිගන්නවා. අපි බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා. පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් පිළිගන්නවා. ඒ නිසා කිසිදු භීතියක් සමාජය තුළ හදන්න එපා. පාර්ලිමේන්තුවට ජනතා කැමැත්තෙන් පත්වෙලා එන ඕනෑම මන්ත්‍රීවරයෙකුට අප ඉදිරිපත් කරන පනතට පක්ෂව හෝ විපක්ෂව විවාද කර, සහාය පළ කිරීමට හෝ පළ නොකිරීමට අවස්ථාව තිබෙනවා. මේවා පාර්ලිමේන්තු තුළින් සම්මත වෙන නීති. එහි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියැවෙනවා. සමහර කාරණාවලට ඍජුව ජනතා කැමැත්ත ගන්න හැකි වෙනවා. අපි කියනවා ලාල් කාන්ත සහෝදරයාගේ සමස්ත කතාව ගෙන සාකච්ඡාවට භාජනය කරන්න. එහි පොඩි කෑල්ලක් අරගෙන යල්පැන ගිය බාල දේශපාලනික ප්‍රයෝග පාවිච්චි කරන්න එපා.
යූත් ෆෝ ජස්ටිස් කියන රාජ්‍ය නොවන සංවිධානයක නීතිඥ මහතෙක්, මා දන්නා තරමට ඔහු රාජ්‍ය නායකයාගේ උපදේශකයෙක් කියනවා එයාට පෙනුනාලු මේක 88-89 කාලයේ වගේ දෙයක් කරන්න යනවා කියලා. ඔහු බයවෙලා හිටියාලු. එයාට ඒ වුණු දේවල් මතකයිලු. මට වඩා අවුරුදු හතරක් විතර ඔහු බාලයි. ඒ කාලයේ මටත් වයස අවුරුදු නවයයි. ඒ කාලේ එයාට මතකයිලු. මොන විහිදළු මේ. අරගයේදි සිදුවුණු දේවල් විද්‍යුත් මාධ්‍ය තිබුණු නිසා අපි දුටුවා. 88-89 කාලයේ මේ විද්‍යුත් මාධ්‍ය තිබුණේ නැහැ. එදා සිදුවුණු සත්‍ය දේවල් අපි දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ අපි අවුරුදු 40ක කාලයක් තුළ අපේ කිසිදු වරදක් නැති බව සමාජය දන්නවා. ඔප්පුකොට තිබෙනවා. නමුත් ඔවුන්ගේ වැරදි මේ මුළු සමාජයම දැක තිබෙනවා.

රටේ නීතිය තුළ යුක්තිය පසිඳලන ක්‍රමය තිබුණු කාලයේ ‘චූල අධිකරණ’ ‘ප්‍රාථමික අධිකරණ’ වල තිබුණු බලය ඊට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයට දුන්නා. 1992 පළාත් බද අධිකරණ ආවා. ඒ පළාත් බද අධිකරණ එන කොට කට්ටියක් විරුද්ධ වුණා. නමුත් ඒකෙන් නඩු කල්යෑම, අභියාචනා ප්‍රමාදවීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. සමථ මණ්ඩලවලට තිබුණු මූල්‍ය ප්‍රමාණය 25000 දක්වා වැඩි කළා. අපි කියන්නේ එවැනි ක්‍රමයක්. සමථ මණ්ඩලයට ග්‍රාමෝදය මණ්ඩලයට, ගොවි සභාවට, සමුපකාර සමිතියට, අපි වැඩිපුර බලය දෙමු. අධිකරණ භූමිය තුළ නිශ්චයකර ගත යුතු නොවන සුළු සුළු කාරණා ඒ ඒ තැන්වල විනිශ්චයට ලක්කර ඉවර කරමු.

යාපනයේ කෙනෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න කොළඹටම එන්න වෙනවා…
නීතිඥ උපුල් කුමරප්පෙරුම

පළාත් සභා ක්‍රමය ආවාට පසුව රටේ පරිපාලනය විමධ්‍යගත වුණේ කොහොමද කියන කාරණයට තව එකතු කිරීමක් කරන්නම්. කොළඹට කේන්ද්‍රගත වී තිබුණු බලය පළාත් සභා ක්‍රමය ඔස්සේ කොළඹින් පිටට ගියා. ඒ වගේම දේශපාලන බලයත් වෙනත් තලයකින් කොළඹින් පිටතට ගියා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා ලැයිස්තු තුනක්. සංවෘත ලැයිස්තුව, පළාත් සභා ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව. මෙහි හඳුන්වා තිබෙන්නේ පළාත් සභාවට අදාළ විෂයන්, මහා ආණ්ඩුවට අදාළ විෂයන් හා ආණ්ඩුව සහ පළාත් සභා දෙකටම පොදුවේ කටයුතු කළ හැකි විෂයන්. එයින් පෙන්වා දෙනවා කොළඹට කේන්ද්‍රගත වුණු බලය පළාත් සභා වෙත ගෙනියපු ආකාරය. ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශ කරන විදියට බලය කොහොමද පහළ ගෙනියන්නේ කියන කරුණේදී ‘අධිකරණ බලය පහළ ගමේ සිටින පුද්ගලයන්ට දුන් පසුව සිදුවන්නේ කුමක්ද’ කියන කරුණ තමයි කැළඹීම් ඇති කරන කණ්ඩායම මූලික කොටගෙන තිබෙන්නේ. මේක මේ අය 88-89ට ගලපන්න උත්සාහ කරමින් ඉන්නවා.

ඇමෙරිකාවේ ජූරි සභා ක්‍රමය තිබෙනවා. අපරාධ නඩුවකට අධිකරණය ඉදිරියට එන පුරවැසියෙකුගේ ඉරණම තීරණය කරන්නේ තමන් වගේම තවත් පුරවැසියන් කිහිප දෙනෙක්. ලංකාවෙත් ජූරි සභා ක්‍රමය තිබෙනවා. ලංකාවේ ජූරි සභාව කියන්නේ, නීතිමය අධ්‍යාපනයක් නොලබපු, නීතිඥයන් නොවන, සාමාන්‍ය පුරවැසියන් හත්දෙනෙක් පැමිණිල්ල මෙහෙයවන සාක්ෂි, විත්තිය මෙහෙයවන සාක්ෂි සහ ඒ සාක්ෂි සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙකු දෙනු ලබන අදහස අරගෙන තමන්ගේ තීන්දුවක් දෙන එක. මේ හත්දෙනාට පුළුවන් කෙනෙකුට මරණ දණ්ඩනය දෙන්න, නැතිනම් නිදහස ලබාදෙන්න. පුරවැසියන් විසින් විනිශ්චය කිරීම (න්‍මාටැ ඉහ චසැරජැ) කියන එක ලෝකයේ තිබෙන සංකල්පයක්. ලාල් කාන්ත සහෝදරයා නිශ්චිතව කියනවා සමහර කාරණා ගමේම විසඳා ගන්න පුළුවන් බව. මේක දැනටත් නීතියේ තිබෙන දේවල්. උදාහරණයක් විදිහට ගොවිජන සංවර්ධන පනත යටතේ ‘ගොවි ආරාවුල්’ ගොවි ජන මධ්‍යස්ථානයේ සිටින නිලධාරියාට සමථයකට පත්කරන්න නීතියෙන්ම ප්‍රතිපාදන සලසා තිබෙනවා. සමුපකාරය සමග රටේ පුරවැසියෙන් ආරාවුලක් ඇති කර ගතහොත් සමුපකාර පනත යටතේ එය තීරකයෙකුට යොමු කිරීමට හැකියාව තිබෙනවා. එම තීරණයට එරෙහිව අභියෝග කරන්න අධිකරණයකට යොමු කරන්න හැකියාවක් නැහැ. ‘කස්ටම් එකේ’, රේගු ආඥා පනතේ රේගු වරදක් සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කරන්න ප්‍රතිපාදන සලසා තිබෙනවා. තුවක්කු ආඥා පනතේ තුවක්කු ලැයිසන් එකක් යාවත්කාලීන නොකළොත්, අභියාචනය තිබෙන්නේ ආරක්ෂක ලේකම්ට. ආරක්ෂක ලේකම් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයකට මෙය සලකා බලන්න පත්කරනවා. එහි තීන්දුව මත තමයි අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ. ඒ වගේම පරිසර ආරක්ෂණ පනත යටතේ, බලපත්‍රයක් ප්‍රතික්ෂේප කළ හොත් එහි අභියාචනය තිබෙන්නේ ලේකම්වරයාට. එහිදී තීන්දුව මත තමයි අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පැවරීමේ හැකියාව ලැබෙන්නේ. මෙම කාරණය ඉදිරිපත් කරමින් ලාල් කාන්ත සහෝදරයා කියන්නේ මෙය තවදුරටත් පුළුල් කරන්න ඕන බව. මම බෙදුම් නඩුවක් වසර දෙක තුනකට කලින් ඉවර කළා. ඒ නඩුව පවරා තිබුණේ 1971 මැයි මාසයේ. මම ඉපදුනෙත් 1971. නඩුව ඉවර වෙනකොට අවුරුදු 49ක් ගතවෙලා තිබුණා. මටත් අවුරුදු 49යි.

ඒ වගේම යාපනයේ සිට පුද්ගලයෙකුට කොළඹට ඇවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න හෝ අභියාචනයක් ඉදිරිපත් කරන්න ඉතාම වියදම් සහගත වැඩ. අවසාන අභියාචනාධිකරණ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. යාපනයෙන් එන හැම අභියාචනයක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන. ඒවායේ සාක්ෂි සටහන්, ලියකියවිලි තිබෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. ඒ අදාළ නිල පරිවර්තන සටහන් ගන්න අවුරුද්දකට වැඩි කාලයක් යනවා. දුර පළාතක පුද්ගලයෙකුට වටිනාකම රුපියල් ලක්ෂයකට අඩු ඉඩමකට කොළඹට ඇවිත් නඩුවක් කියන එක, යුක්තිසහගතද, අයුක්තිසහගතද කියන එක අපට තේරෙනවා. මේක නීතිඥ සමාජය නොදන්නා කාරණයක් නොවෙයි. ලාල් කාන්ත සහෝදරයා කියන්නේ මේ කරුණ. මෙය බිය විය යුතු කාරණයක් නොවෙයි. මේ පහර දෙන අය සත්භාවයෙන් කරන කතාවක් නොවෙයි මේ සිදුකළේ. මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය සිටින තැන ගැන අවබෝධයෙන් හා එම ස්ථානයෙන් පහළට දැමීමේ උවමනාවෙන් කරපු කුමන්ත්‍රණයක්.

You may have missed