සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රම බලකායේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට වැඩසටහනක්.

සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රම බලකායේ මූල්‍ය සාක්ෂරතාව නංවනු වස්
විදේශ මුදල් ප්‍රේෂණය කිරීම, පුද්ගලික විදේශ මුදල් ගිණුම් පවත්වා ගැනීම වැනි කාරණා පිළිබද දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත් 12 වැනිදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.එම දැනුම්වත් කිරීම සදහා මහජන බැංකුව එක්වූ අතර ,ඊට විගමණික ශ්‍රමික ප්‍රජාවට අයත් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

එම ප්‍රජාව අමතමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විගමණික ශ්‍රම බලකාය ලබාදෙන දායකත්වය රජය ඉහළින් අගය කරන බවය.එම ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම මෙන්ම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී බැංකු සහ මෙම ක්ෂේත්‍රයට අදාළ නියෝජිත ආයතන ඉහළ සේවා ගාස්තු අයකිරීම හේතුවෙන් මෙම ප්‍රජාවට බලපා ඇති ප්‍රශ්න පිළිබද මහකොමසාරිස් කාර්යාලය සතු අවබෝධය හේතුවෙන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සංවිධාන කිරීමට යෙදුණු බව මහකොමසාරිස්වරයා සදහන් කළේය. කාලීනව ද වැදගත් මෙම වැඩසටහනට මහජන බැංකුව එක්වීම පිළිබද මහකොමසාරිස්වරයා එම බැංකුවට ස්තුතිවන්ත විය.

මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී(එතෙර ගනු දෙනු සේවා)අරුණි ලියනගුණවර්ධන මහත්මිය , මෙම ප්‍රජාව දැනුම්වත් කරමින් තමන් උපයා ගන්නා විදේශ මුදල් විධිමත් නිසි ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේ සහ පුද්ගලික විදේශ මුදල් ගිණුමක් පවත්වා ගෙන යාමේ වැදගත්කම පුළුල්ව පැහැදිළි කළාය.එමෙන්ම මෙම විගමණික ප්‍රජාව අරමුණු කරමින් මහජන බැංකුව විසින් හදුන්වා දී ඇති ගිණුම් ,නව ණය යෝජනා ක්‍රම මෙන්ම අනෙකුත් පහසුකම් හා ප්‍රතිලාබ ද විස්තර කළාය.

දැනට තමන්ට බලපා ඇති ප්‍රශ්න මහ කොමසාරිස් කාර්යාල නිලධාරින් සහ මහජන බැංකුව වෙත ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමට ද රැස්ව සිටි පිරිසට අවස්ථාව උදාවිය.

මෙම වැඩසටහන සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රම බලකාය දැනුම්වත්කිරීම සහ සවිබලගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කරන වැඩසටහන් මාලාවක දෙවැන්නය.

මෙම වැඩසටහනේම පසු විපරම් පියවරක් ලෙස , දැනට වඩා අඩු සේවා ගාස්තුවක් අයකර ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමට ඇති හැකියාව පිළිබද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ,සිංගප්පූරුවේ බැංකු හා විදේශ මුදල් ගනුදෙනු වල නිරත අදාළ නියෝජිතායතන සමග සාකච්ජා පවත්වමින් සිටී.එහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් ආයතන කිහිපයක් එම ගාස්තු පහත හෙළීමට එකගතාව පළකර තිබේ.

You may have missed