සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙසක් මංගල්‍යය අර්ථාන්විතව සමරයි.

මෙවර වෙසක් මංගල්‍යය අර්ථාන්විතව සැමරීම පිණිස සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය , මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතාගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී පිංකම් මාලාවක් පැවැත්වීය.ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය කරපුටුගල රතනානන්ද ස්වාමීන් වන්සේගේ අනුශාසකත්වයෙන් එම පිංකම් සිදුකෙරිණි.ඉකුත් 16 වැනිදා දහවල් මහා සංඝරත්නය විෂයයෙහි සංඝගත දක්ෂිණාමය පුණ්‍ය කර්මය ද 18 වැනිදා සවස ධර්මදේශනාමය පින්කම ද පැවැත්විණි.

වසර 2500 කට අධික කාලයක් තිස්සේ පැවැතෙමින් මනුෂ්‍ය වර්ගයාගේ ආධ්‍යාත්මික උන්නතිය වෙනුවෙන් මග පෙන්වූ ලොව පැරැණිතම ආගමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් පොහොය දිනය අන්තර්ජාතිකව පිළිගෙන 25 වසරක් ගතවීම සැමරීම ද මෙහි අරමුණකි.වර්ෂ 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට රටවල් 10 ක් වෙනුවෙන් මේ පිළිබද යෝජනාව ඉදිරිපත් කළේ , එවක ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා විසිනි.වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස පිළිගැනුණේ ද මෙම යෝජනාව සම්මත වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.මේ බව කෘතවේදීව සිහිපත් කරමින් දිවංගත ගරු කදිර්ගාමර් ඇමැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමද මෙහිදී සිදුවිය.

ධර්ම දේශනය පැවැත්වූයේ, ශ්‍රී ලංකාරාම විහාරවාසී පූජ්‍ය.වෑවල සෝමධම්ම ස්වාමීන් වහන්සේ විසිනි. එම පිංකම සදහා මහ කොමසාරිස් තුමා සහ එම කාර්ය මණ්ඩලය සමග
සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංගමය හා සිංහල සංගමයේ නිලධාරිහු සහ සාමාජිකයෝ ද විහාරස්ථ දායක සභාවේ නියෝජිතයන් හා සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමික ප්‍රජාව ද සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයෝ ද එක්වූහ.

ධර්ම දේශනා පින්කමෙන් අනතුරුව මහකොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ ද අනුග්‍රහය ඇතිව සහභාගි වූ සැමට තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

වෙසක් සතිය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය වෙසක් සැරසිළි වලින් අලංකාර කර තිබේ.

You may have missed