පරම සත්‍ය කියා දුන් තෙමගුල බැතියෙන් සමරමු!විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පරම සත්‍ය කියා දුන් තෙමගුල බැතියෙන් සමරමු!
මෙලොව ස්‌ථාපිත අනභිබවනීය දර්ශනය ලොවට දායාද කළා වූ තිලෝගුරු ශාක්‍ය සිංහ සම්බුදුපියාණන් වහන්සේගේ ඉපැදීම,බුදුවීම,පිරිණිවන් පෑම යන උතුම් තෙමගුල සිහිපත් කරන පූජනීය වෛශාක්‍ය මංගල්‍යය අදට යෙදී තිබේ.
විශ්වයේ ඇති පරම සත්‍යය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනෙන් දින සනාථ කරන්නේ උන් වහන්සේගේ ධර්මයෙහි සර්වකාලීන බවයි.
උතුම් තෙමඟුල පමණක් නොව
වෙසක් යනු සෑම ශ්‍රී ලාංකිකයකුටම සමාජ, සංස්කෘතික සහ කලාත්මක සේම විනෝදාත්මක ලෙසින් පවා බලපාන පොදු සාමාජීය මහෝත්සවයකි.
ආගමික සහජීවනය පිළිබඳව ලෝකයේම අවධානයට ලක්ව ඇති මොහොතකට අපි පැමිණ සිටින්නෙමු. ජාතික සංහිඳියාව හා ආගමික සහජීවනය එක කුස උපන් සහෝදරයන් මෙන් අප ජීවිතය හා බැඳී පවතී.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.
වෙසඟ සැමරීම විශේෂයෙන්ම ආමිස පූජාවකි. ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. ආමිස පූජාව බෞද්ධ සමාජයේ ප්‍රගමනයට හේතුවෙයි.

සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ පරම පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන වූ වෙසක් පුර පසළොස්වක දිනය අවුරුදු දෙදාස් පන්සියයකට ආසන්න කාලයක් පුරා අපේ රටේ සකලවිද මිනිසුන්ගේ රුධිරයට කාවැදී තිබෙයි.
තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි ලෝක සත්ත්වයා වෙත මහා කරුණාවෙන් පිහිට වී පරහිත සුව පිණිස මුළු ජීවිතයම කැප කළ අසමසම ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ ය.
එකී ධර්මයෙන් හික්මුණු සමාජයක් ලෝකය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නොවැළැක්විය හැකිය.බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය තුළ නිවැරදිව ගමන් කරමින් එකී ධර්මය නිවැරදිව අනුගමනය කරන්නේ නම් අපේ මාතෘ භූමිය ලොව කීර්තිමත් තලයකට රැගෙන යාම අපහසු නැත.
එකී උතුම් බලාපොරොත්තුව පෙරදැරිව මෙවර වෙසක් උත්සවය ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව ප්‍රඥාවෙන් යුතුව සමරමු

You may have missed