‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ මහා සංඝරත්නයට පිළිගන්වයි.

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව වසරකට 2000 කට අධික උපසම්පදා භික්ෂුන් උපැවිදි වීමේ තත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවත් මේ සඳහා රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් එහි තීරණාත්මක ගොදුරක් බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා පත්වීම ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වනදා ජනගත කරන ලද ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ පොදු අවම වැඩපිළිවල (11) දින මානෙල්වත්ත නගානන්ද විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙත පිළිගන්වමිනි.

මෙම වැඩසටහන සඳහා අමරපුර ධම්මරක්ශික නිකායේ අනුනායක වටගෙදර විමල බුද්ධි නාහිමියන්, බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ නායක තිහගොඩ භද්ධිය නාහිමියන්, රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සිංහල විශ්ව කෝෂයේ හිටපු කතෘ ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි, තන්තිරිමලේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි, අමරපුර කල්‍යාණවංස නිකායේ අනුනායක, සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති පිච්ච මල් පුජාවේ නිර්මාතෘ පුජ්‍යපාද කොටපොල අමරකිත්ති නාහිමි, අමරපුර වජිරවංස නිකායේ වැඩබලන මහනායක විශ්ව භාෂා සාහිත්‍ය විශාරද සද්ධර්මකීර්ති ශ්‍රී වජිරවංශාලංකාර සද්ධර්මාභිද්ධිජෝතක පණ්ඩිත දර්ශන විශාරද පුජ්‍යපාද පල්ලෙකන්දේ රතනසාර නාහිමි, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමි, හිටපු ජනාධිපති උපදේශක ශාස්ත්‍රපති විටියල කවිධජ නාහිමි, සමස්ත ලංකා පිරිවෙන් භාවනා උපදේශක (හිටපු) ශාස්ත්‍රපති රන්පත්විල විමලරතන නාහිමි, හිටපු පළාත්සභා මන්ත්‍රී ශාස්ත්‍රපති පුජ්‍ය පියනන්ද නාහිමි, විදාගම වික්‍රමශිලා මහා පිරිවෙන්පති රොටුඹ පේමරත්න හිමි, මධ්‍යම පළාත් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුජ්‍ය කහගල සුමනජෝති නාහිමි, මධ්‍යම පළාත් භාවනා ගුරු උපදේශක දර්ශනපති පූජ්‍ය ගම්පොල ඉන්ද්‍රසිරි නාහිමි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යන අංශයේ මහාචාර්ය හිරිමල්දෙනියේ සාරානන්ද නාහිමි, කරකොලේ පියදස්සි නාහිමි, පෝරුවදණ්ඩේ සුමන නායක හිමි, මාරගහහේනේ සුමේධ නාහිමි, ඉංගිරියේ විජිත නාහිමි ඇතුළුව රටේ සෑම දිශාවක්ම ආවරණය කරමින් මහා සංඝරත්නය වැඩමකර සිටියේය.

එහිදී එම ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ පොදු අවම වැඩපිළිවල යටතේ මෙරට ආර්ථිකය යළි ස්ථාපිත කිරීම පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් පාඨලී චම්පික රණවක මහතා, IMF ණය ආධාරය, මෙරට හා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය, බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම, රාජ්‍ය ආයතන කළමනාකරණය, මේ වනවිට විශාල අර්බුදයකට ලක්ව ඇති බදු අය කිරීම එක් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් නිවැරදි මාවතකට ගැනීම මෙන්ම බදු පැහැර හරිමින් රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකර ගැනීම ඇතුළු අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි රට ස්ථාවර කරන කරුණු රැසක් ගෙනහැර දක්වන ලදී.

එමෙන්ම පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා මේ සඳහා කැපවී කටයුතු කලහොත් අප රට යළි ස්ථාවර කිරීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය නොමසුලුව ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉන් අනතුරුව එක්සත් ජනරජ පෙරමුණ විසින් මහා සංඝරත්නයට පිළිගන්නවන ලද ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ පොදු අවම වැඩපිළිවල පිළිබඳව අදහස් දැක්වූ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමියන් පවසා සිටියේ මහා සංඝරත්නය ලෙස තමන්වහන්සේලා නොදැන සිටි බොහෝ ගැටලු පාඨලී චම්පික රණවක මහතාගේ පැහැදිලි කිරීම හමුවේ දැනගැනීමට හැකිවූ බවත් ඒවා විසඳා ගත නොහැකි ප්‍රශ්න නොවන බවත් නිවැරදි පරිපාලනයක් මගින් විසඳා ගත හැකි ඒවා බවත් ඒ සඳහා යෝජනා කොට ඇති මෙම වැඩපිළිවල සඳහා තමන් ඇතුළු සංඝයාවහන්සේලා ගේ ආශීර්වාදය ලබාදෙන බවත්ය.

එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සිංහල විශ්ව කෝෂයේ හිටපු කතෘ ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින්වහන්සේ අදහස් දක්වමින් පවසා සිටියේ පාඨලී චම්පික රණවක මහතා රටේ තිබෙන ප්‍රශ්න නිවැරදිව හඳුනාගත් දේශපඥයෙකු බවත් ඒ මහතා විසින් පවත්වන දේශනා, කාරකසභා කටයුතු සියලු දෙනා හොදින් අධ්‍යනය කලයුතු බවත්ය.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් පොදු අවම වැඩපිළිවල මහා සංඝරත්නයට පිළිගැන්වීමේ අවස්ථාවට පැමිණ සිටි අමරපුර වජිරවංස නිකායේ වැඩබලන මහනායක පල්ලෙකන්දේ රතනසාර නාහිමියන් මෙම වැඩපිළිවල පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ පාඨලී චම්පික රණවක මහතා නිවැරදි දැක්මක් ඇති නායකයෙකු බවත් ඒ මහතා ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවල ඉතාම කාලෝචිත වැඩපිළිවලක් බවත්ය.

අමරපුර කල්‍යාණවංස නිකායේ අනුනායක, සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති පුජ්‍යපාද කොටපොල අමරකිත්ති නාහිමියන් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද මෙම වැඩපිළිවල පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ හොරකම පිළිකාවක් ලෙස රට පුරා පැතිරී ඇති බවත් එයින් රට මුදවා ගැනීමට චම්පික රණවක මහතාට ඇති දැනුමට අනේක වාරයක් ස්තුතිවන්ත වන බවයි.

එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් වැඩසටහන මෙහෙයවීම පූජ්‍යපාද පස්සරමුල්ලේ දයාවංශ හිමි, පූජ්‍යපාද බුදුගල ජිනවංශ හිමි, පූජ්‍යපාද දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි, පූජ්‍යපාද සුරියවැව සුමේධ හිමි විසින් සිදුකරනු ලැබිණි.

මෙය ඔබගේ මාධ්‍යයේ පළකරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම් (පා: ම පාඨලී චම්පික රණවක)
මාධ්‍ය අධ්‍යක්ෂ (එක්සත් ජනරජ පෙරමුණ)

You may have missed