අපි අපේ රටේ රාජ්‍ය සේවය දේශපාලනය විසින් මුළුමනින්ම බිඳවට්ටා දැම්මා-අනුර කුමාර දිසානායක

නව පුනරුද යුගයක් ඇති නොකළහොත්, මේ ගසාගෙන යන ගඟේම කඩදාසි ඔරු පා කර යවමින් සිටිය හැකියි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව කාට හෝ යම් කිසි දෙගිඩියාවක් තිබුණේ නම්, අද මේ සමුළුවෙන් පවා සනාථ කර තිබෙන්නේ එහි කිසිදු සැකයක් නැති බවයි. ඔබ මෙතැනට පැමිණීමේ දී අප කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත්ම පළුදු වෙන්න ඉඩ නොදෙන බවට සහතික වෙනවා. මේ සභාවේ මට බොහෝ සමීපකමක් තිබෙනවා. ඇමැතිවරයකු ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ සමීප වූ බොහෝ පිරිසක්, විශ්වවිද්‍යාලයේ අපත් එක්ක ඉගෙන ගත් බොහෝ සොහොයුරන් වාගේම වෘත්තීය සමිති කටයුතුවලින් සමීප වූ අයත් ඉන්නවා. ඒ විතරක් නොවෙයි, අපේ අප්පච්චිත් මැනුම් කම්කරුවෙක්. අපේ අප්පච්චි ඒ කාලයේ වැඩ කළේ කන්දසාමි කියන මිනින්දෝරු මහත්මයා යටතේ. ඒ නිසා සැලකිය යුතු ප්‍රමාණයක සබඳතාවක් තිබෙනවා. රටක සංවර්ධනයේ පාදම ලෙස මේ ක්‍ෂේත්‍රය පවතින නිසා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට මුළුමනින්ම යටත් කර ගැනීමට පෙර 1800දී පමණ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවූවා.

සමහර රටවල ඉඩම කියන්නේ දේපළක් විතරයි. නමුත්, අපට ඉඩම දේපළක් පමණක් නොවෙයි, ඥාතියෙකුත් වෙනවා. අදත් අපි මහගෙදර ඉඩම බලලා එන්න යන්නේ ඒ ඥාතීත්වයට. සංස්කෘතිය සහ ජනතාවගේ ජීවිත එක්ක බැඳී තිබෙනවා වාගේම සංවර්ධනයේ පාදම ලෙසත් ඉඩම පවතිනවා. ඕනෑම රටක වටිනාම ස්වාභාවික සම්පත වෙන්නෙත් ඉඩම් සම්පත. නමුත්, ඉඩම් පරිහරණය පිළිබඳව ජාතික සැලැස්මක් මේ දක්වා නැති අතර, අපේ රජයක පළමු කාර්යය විද්‍යාත්මක ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමයි. ඉඩම් පරිහරණ සැලැස්ම කියන්නේ පර්චස් හෝ අක්කරවලට පමණක් ලඝු වන්නක් නොවෙයි. පොළොවේ සංයුතිය පිළිබඳවද දත්ත සහිත සංයුක්ත ඉඩම් සැලැස්මක් නැතිව අපේ රටේ සංවර්ධන සැලැසුම් හදන්න බැහැ. ඉඩම් පරිහරණයේ අවිධිමත්භාවය විසින් අපේ රටේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙනවා. 2022දී අලි 492ක් වාගේම උන්ගේ ප්‍රහාරයෙන් මිනිසුන් 170කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස්, ආබාධිත වීම් සහ දේපළ විනාශ වීම් සිදු වී තිබෙනවා. නාය යාම්, ගංවතුර වැනි ආපදා මෙන්ම අපේ දිය උල්පත් වියළී යාමත් සිදු වෙනවා. පුරවැසියන් අතර ඉඩම් පිළිබඳ විශාල වියවුලක් තිබෙනවා. ඒ නිසා දේශපාලන කෝණයකින් තොරව පුරවැසියන්ට තමන්ගේ ඉඩමේ අයිතිය ලබා දීමේ නිරවුල් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයේදී වාගේම සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයේදී ජාතික ඉඩම් පරිහරණය පිළිබඳ ශක්තිමත් සැලැස්මක් අවශ්‍යයි. මේ සැලැසුම හදන්නේ අපි නොවෙයි. ඔබලායි. ඒ ඒ ක්‍ෂේත්‍රයන් පිළිබඳ නිපුණතාවක් සහිත වෘත්තිකයන් හැම රටකම ඉන්නවා. ජාතික ජන බලවේගයේ විශේෂත්වය වන්නේ ඒ ප්‍රවීණයන්ගේ සහයෝගය ලබාගෙන නිසි සැලැසුම් සකස් කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ල කරන්න අපට බලය ලබාගත යුතු වෙනවා. මේ වසරේ ඔක්තෝබර් අවසන් වන විට පත් වන අලුත් ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. මේ දක්වා පවුල් පහක් අත තිබුණු දේශපාලන බලය ප්‍රාදේශීය වශයෙන් පවා කේන්ද්‍රගතකොටගෙන ඔවුන් වටා එක්රැස් කර ගත් චෞර වළල්ලකට නීතිය යට කර, රජයේ වැදගත් ස්ථාන සියල්ල හැසිරවීමේ බලය ලබා දී තිබෙනවා. අපේ උත්සාහය වී තිබෙන්නේ කුඩා කණ්ඩායමක් අත තිබෙන මේ බලය පොදු ජනයා අතට මාරු කර ගැනීමයි. නමුත්, එය සරල නොවන විශාල අභියෝගයක්.

අපි භාවිත කරන වචනවල අර්ථය විකෘති කරමින්, ගෙන යන ප්‍රචාර මේ වන විට ඔබ දකිනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාව ළඟ. ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ ව්‍යවස්ථාදායක කොටස ජනතාව විසින් තෝරා පත් කර ගත් පාර්ලිමේන්තුවට ලබා දෙනවා. එහි විධායක කොටස ජනතාව විසින් තෝරා පත් කර ගත් විධායකයට ලබා දෙනවා. ඒ වාගේම ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද අණපනත් අනුව අධිකරණයක් වෙත පවරනවා. මේ විදියට අවසාන වශයෙන් බලය තිබෙන්නේ ජනතාව ළඟ. අපි කියන්නේ මධ්‍යගත කේන්ද්‍රයක පවතින ජනතාවගේ මේ බලය තවත් විමධ්‍යගත විය යුතුයි කියන සංකල්පය. නමුත් ඒකට දෙන ඔවුන්ගේ විකෘති අර්ථකථනය “ජේ.වී.පී. එක ගමේ නඩු අහන්න යනවා” කියන එකයි. ඉතා වැදගත් දේශපාලන සංකල්පයක් කීවාම එය විකෘති කරන්න මොන තරම් අතාර්කික කරුණු දැක්වීම්වලට මේ පාලකයන් පෙළැඹී සිටිනවාද? පසුගිය දා අපේ හරිනි මන්ත්‍රීවරිය ඉලක්කගත කරගෙන සජබෙ කට්ටිය, ආණ්ඩුවේ කට්ටිය වාගේම ස්වාධීන යැයි කියන කට්ටිය එකට එකතු වී ප්‍රහාරයක් එල්ල කළා. එක එක වේදිකාවේ වෙන වෙනම රැස්වීම් පැවැත්තුවත්, එකට කතා වෙලා වාගේ අපට එරෙහිව ප්‍රහාර දියත් කරනවා. ඔවුන්ගේ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා ඔවුන් එකට එකතු වී බොහෝ දේවල් කරනවා. දේශපාලන බලය අහිමි වුණොත්, ඔවුන්ගේ අධිකාරී බලයත්, නීති විරෝධීව එකතු කර ගත් ධනයත්, නීතියට වඩා උඩින් සිටිමින්, අපරාධවලින් සැඟවී සිටීමත්, මහජනයාට වඩා උඩින් සිටීමත් යන සියල්ල ඔවුන්ට අහිමි වී යනවා.

ඔවුන්ගේ මුළු ජීවිතයම දේශපාලන බලය විසින් පෝෂණය කර ගැනීම අහිමි වී යාම ඔවුන්ට සිතාගත නොහැකි දෙයක්. ඒ නිසා ඔවුන්ගේ පරාජය වළක්වා ගැනීම සඳහාත්, අපගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහාත් කළ හැකි සියල්ල ඔවුන් කරනවා. ඉදිරි මාස හතර කියන්නේ අපේ ජීවිත කාලයේ ගත වන ඉතාමත්ම වැදගත්, තීරණාත්මක මාස හතරක්. අත්නොහැර, පසුනොබා, ධෛර්යයසම්පන්නව මුහුණ දීමෙන් ජයග්‍රහණය කළ හැකි බව මේ සමුළුවෙන් පවා සනාථ වෙනවා. නමුත්, ජයග්‍රහණයෙන් පමණක් සියල්ල විසඳෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම කියන්නේ ආරම්භයයි, අවසානය නොවෙයි. 1505 සිට කවර හෝ රාජ්‍යයක බලපෑමට ශ්‍රී ලංකාව යටත් වී තිබුණා. 1815 සිට 1948 දක්වා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සෘජු යටත්විජිතයක් බවට පත් වී සිටියා. මේ හා සමානවම ඉන්දියාවත් තිබුණා. නමුත්, 1947දී ඉන්දියාව නිදහස ලබා ගන්න කොට තමන්ගේ රට ගෙන යන දිශාව පිළිබඳ දැක්මක් සහ සැලැස්මක් ඔවුන්ට තිබුණා. ඒ අත්තිවාරම මත අද ඔවුන් හඳට යනවා. මේ කලාපයට වාහන නිෂ්පාදනය කරනවා. ඖෂධ, රෙදිපිළි, ආහාර නිෂ්පාදනය කිරීම දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත්, 1948 අපි නිදහස ලබා ගන්නා විට හිටි නායකයන්ට ජාතික සැලැස්මක් තිබුණේ නැහැ. ඉඳහිට යම් යම් දේවල් සිදු කළා පමණයි. ඒ නිසා අද වන විට බිත්තරය පවා පිටරටින් ගෙන ඒමට සිදු වී තිබෙනවා. හැම දේම අපි නිෂ්පාදනය කළ යුතු බව නොවෙයි, මා මේ කියන්නේ. අපේ මානව සම්පත, අමුද්‍රව්‍යවල ස්වභාවය පදනම් කරගනිමින්, යම් නිෂ්පාදන ප්‍රමාණයකට යා යුතුව තිබෙනවා.
අපට ගෙවාගත නොහැකිව තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි. ලෝකයේ මෑත දී දියුණු වුණු රටවල දියුණුවේ අත්තිවාරම දැමූයේ, 20වැනි සියවසේදීයි. නමුත්, අපි 20වැනි සියවස අත්හැරිය ජාතියක්. නමුත්, 20වැනි සියවසේ ඉදිරි දැක්මක් සහිතව අදහස් පළ කළ විද්වතුන් අපේ රටේ හිටියා. 1918 විමලසුරේන්ද්‍ර මහත්මයා ලක්‍ෂපාන විදුලි බලාගාරය පිළිබඳ සැලැස්ම සකස් කර එයින් නිපදවෙන අතිරික්ත විදුලි බලය විදුලි දුම්රිය සඳහා යෙදවිය යුතු බව කීවා. මාර්ටින් වික්‍රමසිංහයන් සාහිත්‍යයේ වර්ධනයටත්, සරච්චන්ද්‍රයන් නාට්‍ය කලාවේ වර්ධනයටත් අදහස් ඉදිරිපත් කළා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ මාවත ඉදිරිපත් කළා. 20වැනි සියවස ජයග්‍රහණය කරවීම පිළිබඳ එළියේ සාකච්ඡාවක් තිබුණා. නමුත්, අපේ ගතානුගතික දේශපාලනඥයන් නූතනත්වය පිළිබඳව තිබුණු සංවාදය මුළුමනින්ම යට කර දැමුවා. ඔවුන් අතීතකාමීත්වයේ ජීවත් වුණා. නමුත්, ලෝකය වේගයෙන් නූතනත්වය කරා ගමන් කළා. ඒ නිසා අපට තිබෙන කාර්යභාරය අතීතකාමීත්වයේ තිබෙන ආර්ථිකයත්, සමාජයත් නූතනත්වය කරා වේගයෙන් ගෙන යන වැඩපිළිවෙළක් සහ ක්‍රියාමාර්ග අවශ්‍යයි.
ඒ නිසයි, අපි නිතරම කියන්නේ නව පුනරුද යුගයක් අවශ්‍ය බවයි. හුදෙක් හොරකම් නතර කිරීම, බදු ගැහීම, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක්, නීතියේ විධානය, ආධිපත්‍යය සහිත රටක් ගැන කතා කරනවා නොවෙයි. පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙන තත්වයෙන් මුදා ගැනීමට සිතුම් පැතුම්, ආකල්ප, සංස්කෘතිය, දේශපාලනය, කලාව, සාහිත්‍යය යන මුළු පද්ධතියේම නව පරිවර්තනයක් රටට අවශ්‍යයි. හුදු නායකයන්, ආණ්ඩුවේ, දේශපාලනයේ පරිවර්තනයක් නොවෙයි, අප කියන්නේ. සමාජය මුළුමනින්ම පරිවර්තනය කළ හැකි නව පුනරුද යුගයක් ඇති කළ යුතුයි. එසේ නොකළහොත්, මේ ගසාගෙන යන ගඟේම කඩදාසි ඔරු පා කර යවමින් සිටිය හැකියි. ඒ වෙනුවෙන් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එහි මූලික කාර්යභාරය පැවරී තිබෙන්නේ මා ඇතුළු දේශපාලනඥයන් වෙතයි. පොදු මහජනයාට වඩා උඩින් ඉන්න නායකයන් අපට ඕනෑ නැහැ. දේශපාලකයා යනු මහජනයාගේ තවත් පොදු මිනිහෙක් හැරුණුකොට මහජනයාට වඩා සුවිශේෂී මිනිසෙක් බවට පත් කරන්නේ නැහැ. ඒ වාගේම නීතියේ විධානය, ආධිපත්‍යය තහවුරු කිරීමත් දේශපාලනයේ කාර්යභාරයක්. මිනිස් ශිෂ්ටාචාරයේ දීර්ඝකාලීන සටන්වල ප්‍රතිඵලයක් ලෙස එදා තිබූ නීතිය පසිඳලීම රැහේ නායකයාගෙන් අධිකරණ පද්ධතියේ ව්‍යුහයට පවරා දී තිබෙනවා. නමුත්, නීතියේ විධානය, ආධිපත්‍යය කඩාවැටුණහොත්, ශිෂ්ට යුගයේ සිට අශිෂ්ටත්වය කරා නැවත යනවා.

සිංගප්පූරු අගමැතිවරයා මෑතකදී ඔවුන්ගේ රට සතු ප්‍රධාන වත්කම් දෙකක් ගැන කියා තිබෙනවා. එකක් විදේශ සංචිත. අනෙක ශක්තිමත් රාජ්‍ය සේවය. අපේ මේ දෙකම බිඳවට්ටා තිබෙනවා. අපි අපේ රටේ රාජ්‍ය සේවය දේශපාලනය විසින් මුළුමනින්ම බිඳවට්ටා දැම්මා. හැකියාව, දක්‍ෂතාව, පැවරෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම මත රාජ්‍ය සේවයේ ඉහළටම යා හැකි වන පරිදි රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනයෙන් මුදනවා. ඒ වාගේම ජාතික සමඟිය ගොඩනඟා ශක්තිමත් විදේශ සබඳතා ජාලයක් ලෝකයේ බල කේන්ද්‍ර පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් ස්ථාපනය කරනවා. ලෝකයේ බල තරගය හමුවේ අපේ රටේ පිහිටීම කේන්ද්‍රගත වී තිබෙන නිසා ලෝකයේ බල ගැටුමේ කේන්ද්‍රස්ථානය බවට පත් නොකෙරෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ බව ඉන්දියාවේ විදේශ ඇමැතිවරයාට වාගේම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මේ කලාපය භාර ප්‍රධානියාටත් අපි විවෘතව පවසා තිබෙනවා. ඒ වාගේම අපේ සමාජය ගොඩනැඟී තිබෙන පාදම වන අපේ ශිෂ්ටාචාරය සමඟ බැඳුණු නව සංවර්ධන මාදිලියක් ක්‍රියාත්මක කරනවා. අපේ සමාජයේ අක්මුල් බැස තිබෙන ශිෂ්ටාචාරය නූතන අවශ්‍යතා සමඟ ගළපාලමින් ඉදිරියට යනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, නීතියේ විධානය, ආධිපත්‍යය පිහිටුවීම, කාර්යක්‍ෂම රාජ්‍ය සේවය, ජාතික සමඟිය, ශක්තිමත් විදේශ සම්බන්ධතා සහ අපේ රට ගොඩනැඟුණු ශිෂ්ටාචාරය මත අපේ රට නව හැරවුමකට ගෙන යනවා.

ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ හුදු ආණ්ඩු පෙරැළියක් නොවෙයි, නව පරිවර්තනීය යුගයක් පිළිබඳවයි. තනි මිනිසකු ලෝකයේ පරිවර්තන සිදු කර නැහැ. මිනිස් ශිෂ්ටාචාරයේ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ සාමුහික ක්‍රියාකාරීත්වයකින්. අන්න ඒ ක්‍රියාකාරීත්වයේ විශාල පංගුවක් ඔබ නියෝජනය කරනවා. අප සියලු දෙනාම එක් වී සාමුහික ක්‍රියාකාරීත්වයකින් මේ රට ගොඩ ගනිමු කියලා ආරාධනා කරනවා.

You may have missed