බලය තිබෙන කාලයේ මෙන්ම බලය නොමැති කාලයේ ද තම කණ්ඩායම සියයට සියයක් මේ රටේ කම්කරු ජනතාව සමඟ සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

බලය තිබෙන කාලයේ මෙන්ම බලය නොමැති කාලයේ ද තම කණ්ඩායම සියයට සියයක් මේ රටේ කම්කරු ජනතාව සමඟ සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එදා වැඩ බිමේ මෙන්ම මහ පාරේ කම්කරු සටන්වලට සහයෝගය උපරිමයෙන් ලබාදුන් බව සිහිපත් කරන ඒ මහතා මහ පාරේ පෙලපාලි ගෙනියන්න පමණක් මේ රටේ කම්කරු ජනතාව පාවිච්චි නොකළ බව වගකීමෙන් පවසන්නේ යැයි ද ඇතැමුන්ට කම්කරුවා මතක් වෙන්නෙ කම්කරු දිනයට පමණක් බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ බොරැල්ල කැම්බල් පිටියේ දී (01) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි කම්කරු ජනතාවගේ පොදුජන මැයි රැලිය 2024 ට එක්වෙමිනි. “රොඳබදිමු අපි ඉත සිතින් – එක්සත්ව හදවතින්” යන්න තේමාව කරගනිමින් පැවැති මෙම ජනරැලිය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

ආදරණීය කම්කරු ජනතාවගෙන් අවසරයි, අද කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න සමස්ත කම්කරු ජනතාවට පළමුව මගේ ප්‍රණාමය පුදකරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය රටට පෙන්වන්න අද ඔබට හැකිවෙලා තිබෙන බව මුලින්ම කියන්න ඕනි. මේ විදියට රටේ හතර වටෙන් කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ජනතාව රටටම ඔප්පුකරන්නෙ තලන පෙලන තරමටම අපි තව තවත් මුවහත් වෙනවා කියලයි. ඔබ දන්නවා, බොරු කියලා. මඩ ගහලා. අපි හොරු කරලා මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒකරාශිවෙලා ඉන්නවා. ඒ හැම අභියෝගයක්ම බිඳ හෙළමින් රටේත් ජනතාවගේත් අභිලාෂය දිනවන්න අපට පුළුවන් කියලා අපි ඔබ හමුවේ අද කියනවා. මේ සහෝදරවරු දන්නවා, කම්කරු ජනතාව හැමදාම පෙළපාලිවලට පාරට බස්සන්න ඉන්න පිරිසක්ය කියලා හිතං ඉන්න පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඒ අය බලන්නෙ ඔබව හැමදාම වීථි සටන්වල ඉත්තො විධියට තියාගන්න විතරයි. ඔබ ජීවත්ව ඉන්න කාලය තුළ මේ රට ගොඩනගලා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනස් කරන බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ.

තවත් කණ්ඩායමක් ඉන්නවා උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා තෝරන. ඇත්තට එහෙම කරලා බොරුවට අද වගේ දවසක මයික් එක ගාවට ඇවිත් ආදරණීය සදාදරණීය කම්කරු ජනතාව කියලා ආමන්ත්‍රණය කරනවා. මේ කයිවාරු නායකයෝ. ඉතිහාසය අරගෙන බලන්න. බලය නැති කාලෙ වගේම බලය තියෙන කාලෙත් අපි සියයට සියයක් කම්කරුවො එක්ක හිටියා. එදා වැඩ බිමේ වේවා මහ පාරේ වේවා කම්කරු සටන්වලට අපේ සහයෝගය උපරිමයෙන් දුන්නා. මහ පාරේ පෙලපාලි ගෙනියන්න විතරක් අපි ඔබව පාවිච්චි නොකළ බව වගකීමෙන් කියන්න ඕන. සමහරුන්ට කම්කරුවා මතක් වෙන්නෙ කම්කරු දිනේට විතරයි. මේ රටේ කම්කරු දිනය සමරන්න පටන් අරන් දැන් අවුරුදු 91 වෙනවා. මට මතකයි මම කම්කරු ඇමතිවරයා වෙනකම් කම්කරුවගෙ සුබසාධනයට එක රුපියලක් දෙන වැඩපිළිවෙලක් රජයෙන් හදලා තිබුණෙ නැහැ. පළමු වතාවට එදා ශ්‍රම වාසනා අරමුදල බිහිකරලා ඒ වැඩේට අතගහන්න අපට පුළුවන් උනා. එදා අපි පටන් ගත්තෙ මේ රටේ කම්කරුවා වෘත්තිකයෙක් කරන මහ යෝධ වැඩපිළිවෙලක්.

පොඩ්ඩක් හිතන්න, අද කම්කරුවා හෙට වෘත්තිකයෙක් විදියට තවත් පියවරක් ඉදිරියට ගියාම ඔබේ දරුවනුත් තවත් පියවර දෙක තුනක් ඉදිරියට යනවා. ඒ විදියට ඉදිරියට යන්නෙ ඔබ විතරක් ද ? නෑ මේ රටත් ඒ හරහා ඉදිරියට යනවා. රටක් දියුණු වෙන්න අවශ්‍ය සමාජ වටිනාකම් නිර්මාණය වෙන්නෙ ඒ විදියට කියලයි අපි විශ්වාස කරන්නෙ. ඉතිහාසය අරන් බලන්න, මේ රටේ හිටිය හැම කම්කරු නායකයෙක් එක්කම අපි හොඳ මිත්‍රත්වයකින් වැඩ කරලා තියෙනවා. ඔවුන්ට ඇහුම්කම් දීලා ඔවුන්ගෙ ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳලා තියෙනවා.

සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන අපේ ස්ථාවරය නිසා ඒ සම්බන්ධකම් මැයි දිනයට විතරක් සීමා උනෙත් නෑ. ඒ නිසා කවුරු කයිවාරු ගැහුවත් මේ රටේ වැඩබිමේ ගොවිබිමේ වැඩිම කම්කරු බලය තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කියලා අපි නොබියව ප්‍රකාශ කරන්න ඕනි. මේ මැයි රැලිය තීරණාත්මකයි. එළැඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නෙ කොයිබට ද කියන තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනි. දැන් බලන්න මොන දේශපාලන වේදිකාවෙත් කයිවාරු නායකයෝ පහර ගහන්නෙ අපිට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මේ වේදිකාවේ ඉන්න නායකයො ඉලක්ක කරලා තමයි හැමෝම මඩ ගහන්නෙ. ඒ ඇයි ? මේ කයිවාරු නායකයො දන්නවා තාමත් ජනතා බලය තියෙන්නෙ අපි ගාව කියලා. ඒ අයට ඕන කරලා තියෙන්නෙ පොහොට්ටුවේ හැටනව ලක්ෂෙ බෙදාගන්න. ඒ අය හැට නව ලක්ෂෙට අපහාස කරන ගමන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික ඔඩොක්කුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා මිත්‍රවරුනි, එක දෙයක් මතක තියාගන්න. ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු. මේ රටේ අනාගතය නැති කරපු මිනිස්සුන්ගෙ අපහාස විඳගෙන ඒ අයගෙ ඔඩොක්කුවට වැටෙන්න නම් යන්න එපා. අපිට වැරදි උනා නම් අපට වඩා වැරදි දහස් ගණනක් ඉන්න කුහක මිනිස්සු ගාවට යනවට වඩා අපට උන වැරදි නිවැරදි කරගෙන දිනන රටක් වෙනුවෙන් අපි එක ගමනක් යන්න ඕන. මොකද දේශපාලනේ විරුද්ධවාදීන් ගහන ගහන තරමට අපි මඩ ඇල්ලුවේ නැති උනාට, මේ රටට වැඩක් කරන්න පුළුවන් ශක්තිය අදත් තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විතරයි කියලා අපි අද මතක් කරනවා.

ඒ නිසා කිසියම් කළකිරීමක ඉන්න අපේ පාක්ෂිකයෙක් ඉන්නවා නම් අද ගමට ගිහින් බය නැතිව කියන්න එළැඹෙන ජනාධිපතිවරණය ජයගන්නෙ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි කියලා. සමහරු බලයි අපි මේ තරම් විශ්වාසෙන් ඇයි මෙහෙම කියන්නෙ කියලා. වෙලාව ආවම අපි අපේ තීරණය රටට දැනුම් දෙන්නම්. එතකම් සූට් මහගත්ත අයට තැන දීලා ඉන්න. ඒ අය හරි ආසයි මහලා තියෙන සූට් එක දිහා බල බල ඉන්න. මේ දවස්වල එයාලා විවාදයකින් හරි වැඩිම කයියනායක වෙලා හරි සූට් එක ඇඳගන්න පුළුවන්ද කියල බල බල ඉන්නෙ. කොවිඩ්වලට කලින් අපි බාරගත්තෙ ආර්ථික වශයෙන් වැටුණු රටක්. අපි ඒක ජනතාවට නෙමෙයි රටට ලෝකෙටවත් කියන්න ගියේ නෑ. ඔය කයිවාරු නායකයෝ ජාතික ආණ්ඩු කරන්න සහය දීලා, වැඩිම විදෙස් ණය අරගෙන රට බිංදුවට දාලා තිබුණේ. අපි කළේ නැවත රට ගොඩනගන්න අවශ්‍ය පිළියම් යොදන එක විතරයි. එහෙම කරගෙන යද්දි තමයි කොරෝනා වසංගතය ඇවිත් අවුරුද්දකට වැඩිය රට වහන්න සිද්ධ උනේ.

එදා ඒ ප්‍රශ්නෙ දි අපට උත්තර දෙකක් තිබුණා. එකක් කොහොමෙන් හරි බලය රැකගන්නවා කියන එක. අනෙක් එක අපේ මිනිස්සුන්ගෙ ජීවිතටික බේරගන්නවා කියන එක. අපි මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්නවා කියන උත්තරයයි තේරුවේ. එහෙම නැති උනානම් අරගලත් නෑ. ගෝල්ෆේස් එන්න මිනිස්සුත් නෑ. අපි අපේ මරණ සංඛ්‍යාව අඩු කරගෙන ජීවිත බේරුවා. දැන් සමහරු යුද්ධය ගැන කතා කරනවාට අකමැතියි ලු. ඒකත් හොඳයි. තිස් අවුරුද්දක් තිස්සෙ මේ රටට සාපයක් වෙලා තිබුණු යුද්ධය රණවිරුවන් එක්ක එකතු වෙලා අපි අවසන් කළා. එදා වැඩ බිමේ ඉන්න ඔබ ඇතුළු සමස්ත ජනතාව අපට ඒ සඳහා උදවු කළා. එහෙම යුද්ධය අවසන් කරපු එකත් වැරදි ද ? නැත්නම් හිඟන්නාගේ තුවාලෙ වගේ මේවා ඉදිරියට ගෙනාව නම් අද කාටවත් මේ විධියට නිදහසේ රැස්වීමක්වත් තියන්න පුළුවන් ද ? එදා අපි තිස් අවුරුදු යුද්ධය තුන් අවුරුද්දෙන් අවසන් කරලා මුළු රටක් නිදහසේ හුස්ම ගන්න තැනට පත් කළා.

දවස ගානේ යුද්දෙන් මියගිය ජීවිත මේ රටට ඉතිරි කරන්න අපට පුළුවන් උනා. හැබැයි මිත්‍රවරුනි, දැන් 71 වීරයෝ, 88-89 වීරයෝ කියලා ගොඩක් වීරයෝ ඉන්නවා. ඒ කාලෙ බෙල්ල කපලා වැට ඉනිවල ගහපු අය. පුතා මරලා තාත්තට අම්මට පුතාගේ මස් එවපු අය. බස් පුච්චපු අය. ට්‍රාන්ෆෝමර් ගිනිතියපු අය. කොටින්ම දාසය දාහක් විතර තරුණ තරුණියො රටට අහිමි කරපු අය. ඒ විතරක් නෙමෙයි අපේ රටේ රාජ්‍ය දේපල ගිනි තියලා විනාස කරපු අය. අනෙක් අය රට වැටුණු වෙලාවේ පැනලා ගියපු අය. මේ අය තමයි දැන් සූට් මහගෙන ඉන්නෙ. මේ හාදයො ඉතිහාසේ කවදාවත් ආණ්ඩුවක් කරන හොඳක් දැකලා තියෙනවාද බලන්න. බැලුවොත් ඇත්නම් විවේචන. නැතිනම් උද්ඝෝෂණ. මතක ඇතිනේ මේ අයත් ඇමතිකම් ගත්තා. හැබැයි මොකද උනේ. කයිවාරුවලින් දසමෙන් පංගුවක් කරලා පෙන්වන්න බැරි උනා. දැන් බලන්න, අපි අධිවේගී මාර්ග හදන කොට ඇඹුල් තියල් ගේන්න අධිවේගී මාර්ග හදනවා කිවුවා. පුළුවන් තරම් බාධා කරා.

කොළඹ පෝට්සිටි හදන කොට ඒක හදන්න කළු ගල්වලට සීගිරිය කඩන්න වෙනවා කිවුවා. හම්බන්තොට වරාය හදන කොට ඒකේ මහ විශාල කළු ගලක් හැදුවට නැව්වලට එන්න බෑ කිවුවා. විදුලි බලාගාර හදන කොටත් මේ විදියටම කිවුවා. මත්තල ගුවන් තොටුපළ සමහරු වී වේලන්නත් දැම්මා. උමා ඔය හදන කොට ඒකේ මහ විශාල හිලක් කිවුවා. මේ අය කට උල්කරලා කියන කියන පාරට මිනිස්සු රැවටුණා. එදා උමාඔය විවෘතකරන වෙලාවේ ඉරාන ජනාධිපතිතුමා ගොඩබැස්සෙ මත්තල ගුවන් තොටුපළට. අද උමා ඔය ව්‍යාපෘතිය නිසා ජල විදුලිය විතරක් නෙමෙයි කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් දහස් ගණනකට ජලය ලැබෙනවා. බොරු මවලා මේවා ප්‍රමාද කරලා, අයෝජකයෝ එළවන්න වැඩ කරලා මේ අය බිලියන් ගණන් මුදල් රටට අහිමි කළා. අපි විදෙස් තානාපති කෙනෙක් හමුවුණාම විදේශීය සතුරු බලවේග කිවුවා. ඉන්දියානු ව්‍යාප්තවාදය කිවුවා. අද ලැජ්ජ නැතිව ඒ රටවල්වලට විතරක් නෙමෙයි තානාපති කාර්යාල අස්සෙ ගිහිං කුමන්ත්‍රණ කරනවා. ඩොලර් හොයනවා.

මේ නායකයන්ට ප්‍රතිපත්තියක් නෑ. ඔබට මතක ඇති අරගලයෙන් වැටුණු රට බාරගන්න කියලා අපි සජබෙ සජිත් ප්‍රේමදාසට කිවුවා. ජවිපෙ අනුර කුමාරට කිවුවා. ඒ අය ඒ වෙලාවේ රට ගැන නෙමෙයි තමන්ගෙ අනාගතය ගැන හිතලා දැන් බාර ගන්න බෑ කියලා මග හැරියා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ ආරාධනාව පිළිගෙන ජනාධිපතිවරයා විධියට අපි නවත්වපු තැනින් අපේ සහයත් අරගෙන රට ඉදිරියට ගෙන ගියා. එදා යුද්දෙදි, කොවිඩ්වලදි විතරක් නෙමෙයි රට බංකොලොත් කියලා වැටුණ වෙලාවෙදිත් අපේ මන්ත්‍රීවරු ඝාතනය කරද්දිත්, ගෙවල් ගිනි තියද්දිත් අපි මේ රටවත් මේ රටේ මිනිස්සුවත් අතෑරලා පැනලා ගියේ නෑ. අපි එදා ඒ වගේ තීන්දුවකට නොයන්න මේ රට අරාජික වෙන්න හොඳටම ඉඩ තිබුණා. ඒවා රටක් විධියට අපි මතක තියාගන්න ඕනි. මේ වේදිකාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ අපේ ගෙවල් දොරවල් පුච්චලා කණ්ඩායමක් අර පරණ පුරුදු සෙල්ලම පටන් ගත්තා. මේ අයට පුරුදු ගිනි තියන එක. ඒ නිසා ඒක හෙට වෙනස්වෙයි කියලා හිතනවා නම් ඒක ලොකු වැරදීමක්.

බලන්න සමහරු මේ දවස්වල 88-89 මිනිස්සු මරපු ඒවාට සොරි කියනවා. තව මැඩම් කෙනෙක් ඇවිත් කවුද ජනාධිපති කරපු එකක් මා කළ මෝඩ වැඩක් කියලා දැන් එයාම ප්‍රසිද්ධියේ කියනවා. මේවා කළේ අපට පාඩම් උගන්වන්න. හැබැයි සිද්ධ උනේ, රට ආපස්සට ඇදලා දාපු එක විතරයි. රටේ ජනතාව මේවා තේරුම් අරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා තව තවත් බළමුළු ගැන්වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ පක්ෂය නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඒ කණ්ඩායමට තාමත් මේ රටේ දේශපාලන නාඩිය හොඳට තේරෙනවා. ඒ නිසා ඔය සමාජ මාධ්‍යවල මඩ ටීම්වලට එහා ගිහිං ඇත්තට ළං උනොත් රටේ සැබෑ ජනමතය තාම තියෙන්න අපි ගාවයි කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ නිසා දේශපාලනය කුමක් උනත් අපි ඉන්නෙ රටේ ජනතාව එක්කයි. ඔබේ ප්‍රශ්න අමතක කරලා, ඒ ගමන් යන්න අපි කොහෙත්ම සූදානම් නෑ.

ඒ නිසා ආණ්ඩුවේ හොඳ අගය කරනවා වගේම ජීවන වියදම ඇතුළු ආර්ථිකය යථා තත්ත්වයට පත්වනතුරු ඒ සාධාරණ විවේචනය අපි රට හමුවේ තබන බවත් මතක් කරන්න ඕනි. ඒ නිසා වැඩබිමේ, ගොවිබිමේ දහඩිය වගුරන කම්කරු ජනතාවගේ සැබෑ ආර්ථික පීඩාවන් මගහැර දෙන්නත්, ඔවුන්ට නිසි ගරුත්වය වගේමඅතමිට සරු හෙටක් නිර්මාණය කරන්නත් අපි කැපවෙන බව විශ්වසයෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඒ නිසා, වැටුණු රට යථාතත්ත්වයට ගන්න ශක්තියක් උනා වගේම මේ රට දිනවන අනාගත බලය අපි සියලුදෙනා එකට එක්ව නිර්මාණය කරමු. දිනන අපේක්ෂකයා ඉන්නෙ අපි ගාව නම්, ඒ දිනන රට වෙනුවෙන් එක ගමනක් යන්න අත්වැල් බැඳගන්නයි අපි ඔබට ආරාධනා කරනවා. ඔබේ කම්කරු අයිතීන්වලට ජයවේවා ! කම්කරු ජනතාවට ජයවේවා ! ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයවේවා ! ඔබේත් රටේත් අනාගතයට ජයවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා,

ලෝකයම අද දිනය සමරන්නේ වැඩ කරන ජනතාවගේ උතුම් දිනය හැටියටයි. ශ්‍රී ලංකාවේ ද වැඩකරන ජනතා ව්‍යාපාරය උතුම් දිනයට පැමිණෙන විට කලින් සඳහන් කළා වගේම සියලු දෙනාට මතකයි කොයි තරම් දුෂ්කර කාල පරිච්ඡේද අපේ වෘත්තිය සමිති ව්‍යාපාර, අපේ වැඩ කරන ජනතා ව්‍යාපාරයේ අනුගමනය කරලා තිබෙනවා ද කියලා. මෙවන් ශක්තිමත් අවස්ථාවකට රට ගේන්න සමාජයේ වෘත්තීය සමිති අමතක කරන්නට බැරි, වැඩකරන ජනතාව අමතක කරන්නට බැරි, ශක්තිමත් ක්‍රියාවලියක් වැඩ කරන ජනතාව ඉෂ්ට කරනවා. ඒ ශක්තිය, ඒ බලවේග තම අයිතිවාසිකම් දිනාගනිමින් ඒ ශක්තිය දායාද කරන්නට සංවිධානාත්මකව එක්ව සිටිනවා. ඒ තනි තනිව නෙවෙයි. වෘත්තිය සමිති ව්‍යාපාරය හැටියට ඉතාම දැඩිව අනාගතයට තිබෙන විශ්වාසය මතයි. අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අද දින එක්වූ හැම වෘත්තිය සමිති නායක නායකයෙක්ටම සාමාජිකයින්ට අපේ ගෞරවය පුද කරනවා. ඔබ නිසයි රටක් හැදෙන්නේ.

ඔබ තමයි වැඩ කරන්නේ. ඔබ තමයි වැඩ කරලා අලුත් දේ නිෂ්පාදනය කරන්නේ. ඔබ අලුත් දේ නිෂ්පාදනය කරොත් තමයි ආර්ථිකයක් පණ ගැහෙන්නේ. නවීකරණය වෙන්නේ. මේ ශත වර්ෂය අපිටයි. මේ ශතවර්ෂය අපිට නිසා ආසියාවේ සෑම රටක්ම අවදිවත්ව නැගිටලා අලුත් දේ හදන රටක් බවට පරිවර්තනය වෙලා ආර්ථික ජයග්‍රහණය කරා ගමන් කරනකොට අපි අත්වැල් බැඳගෙන ඒ බලාපොරොත්තුව ඉටු කරමු. අපට තිබෙන්නේ ඒ අනාගත වැඩපිළිවෙළ නිර්මාණය කරන්න. මේ මැයි දිනයේදී අප එය ප්‍රාර්ථනා කරනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයට විරුද්ධව හඬ නැගීම අපි අනුමත කරන්නේ නැහැ. වෘත්තීය සමිති ව්‍යාපාරය යෝධ හයියක්. ඒ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ වෘත්තීය සමිති ඈතදීත් මෑතදීත් කරන ලද දැවැන්ත පරිත්‍යාග තුළින් ඔප්පු කර තිබෙනවා. එය අලුත් විශ්වාසයක්. ඒ විශ්වාසය මත තමයි තවත් ලක්ෂ ගණන් වැඩ කරන ජනතාව මේ පොදු සටනට අත්වැල් බැඳ ගන්නේ. අනෙක් පැත්තෙන් අපේ රටේ ගොවි ජනතාව නොවන්නට පසුගිය කාලය අප බඩගින්නේ. මුළු රටම මුහුණ දෙන භයානක තත්ත්වයකට පසුගිය සමයේ අප මුහුණ දුන්නා.

ඒ අභියෝගය බාරගත්තේ ලංකාවේ ගොවි ජනතාවයි. තමන්ට පමණක් නොව, තම ගම් වලට පමණක් නොව, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, රට පුරා අතිරික්ත ආහාර නිපදවන්න පුළුවන් ගොවි ජනතාවක් අපේ රටේ එලෙස කටයුතු කරන බව ඔප්පු කරන්නට පුළුවන් වුණා. වැඩ කරන ජනතාවගේ කේන්ද්‍රීය බලවේගයක් වන ගොවි ජනතාවත්, කම්කරු ජනතාවත් ශක්තිමත්ව සංවිධානය කර ගනිමින්, ඉදිරි ප්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු ඇති මහා මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්නට පුළුවන්කමට අපි ගමන් කරනවා. ඒ අලුත් පාර්ලිමේන්තුවට අලුත් වැඩපිළිවෙලක්, අලුත් ක්‍රියාවලියක් දේශපාලන මෙන්ම ආර්ථික හා සමාජ දියුණුව පිණිස අපි එක්ව ගොඩනගමු. අග්‍රාමාත්‍යවරයා හැටියට අපි එකඟ වෙනවා තමුන්නාන්සේලා සමඟ. ජීවන වියදම වැඩියි. ජීවන වියදම අඩු කිරීමේ ඕනෑකම අප සියල්ලටම තියෙනවා. මූල්‍ය හා ආර්ථික ගැටලු හරහා අපේ ජීවන වියදම අප අඩු කර ගත යුතුයි. එය වැඩ කරන ජනතාවට, ගෙවල් දොරවල් වලට බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එය අඩු කර ගැනීමේ ඕනෑකම සාධාරණව දිනා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය ශක්තිමත් කරමු.

යෝද මැයි දින රැළියක් පැවැත්වීමෙන් එම අදහස් වලට කැපවුණු, ඒ උත්තරීතර ක්‍රියාමාර්ගවලට පරිත්‍යාග කළ, ඒ ජන බලවේගය යළිත් ශක්තිමත් කරමින් අනාගතය ගොඩනැගීම සඳහා අප අත්වැල් බැඳගෙන කටයුතු කරන්නට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පමණක් නොව ඒ මිත්‍ර පක්ෂ හා සියලු ජනතා කොට්ඨාශ වලට අපි මේ අවස්ථාවේදී ආරාධනය කරමු. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අඩු කරන්න, කප්පාදු කරන්න, උදුරාගන්න ගන්න ඉඩක් නොදෙන හඬක් බවට මේ මැයි දින හඬ ඇති කරනු ඇතැයි මම විශ්වාස කරනවා. කිසිම කර්තව්‍යයකදී වැඩ කරන ජනයා දිනූ අයිතිවාසිකම් කප්පාදු නොකොට අලුතින් නිර්මාණය කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීම ට අප බැඳී සිටිනවා. නව පරම්පරාව තරුණියන් හා තරුණයන් තමයි අපේ අනාගතය. අලුතෙන් ගොඩනැගෙන ලෝකයේ තොරතුරු තාක්ෂණය ඒ වගේම කාර්මික දියුණුව එක්තැන් කර ගත හැකි නව පරම්පරාවකට ඒ අනාගතය ගොඩනැගීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළකට මේ මැයි දිනයේදී අප එක්ව කටයුතු කරමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,

2500 වසරක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් ලෙස අපි මේ රටේ ජීවත් වෙනවා. මේ රටේ ඉතාහිසය තුළ අපේ රට විවිධ සතුරු තර්ජන එල්ල වුණා. සොලී, පාණ්ඩ්‍ය, කේරණ තර්ජන ආවා. ඊට පසුව පෘථිගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි අපේ රට ආක්‍රමණය කළා. නමුත් අපේ මුතුන් මිත්තන් ඔවුන්ව පළවා හැරියා. ඒ නිදහසින් පසුව 30 වසරක යුද්ධයකට අපේ රට මුහුණ දුන්නා. අපේ වාසනාවට මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ රාජ්‍ය නායකයා ලෙස අපේ මවුබිම අපිට බේරා දුන්නා. 1971, 1989 මේ රට විනාශ කරන්න හැදුවා. මේ රට විනාශ කරන්න බලාගෙන ඉන්න සතුරු බලවේග එක්ව ඒක 2022 වසරේත් කරන්න හැදුවා. විදේශ බලවේග සමග එක්ව මේ රට විනාශ කරන්න හැදුවා. මේ බලවේගවල කූඨප්‍රාප්තිය 2015 වසරේ දී දැක්කා. නිදහසින් පසුව මේ රටට විශාල සංවර්ධනයක් ගෙනා නායකයා සහ රජය පරාජය කරන්න පියවර ගත්තා. එයින් පසුව අපි අලුත් පක්ෂයක් නිර්මාණය කළා.

මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් අපේ උරුමය ආරක්ෂා කරන්න පුළුවන් දැවැන්ත පක්ෂයක් නිර්මාණය කළා. මේ රටට එරෙහිව ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණය අදටත් ක්‍රියාත්මක වෙනවා. මේ වසරේ දැවැන්ත මැතිවරණ දෙකකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒවායින් අපේ ඉතිහාසය තවදුරටත් රැක ගන්නවා ද කියන එක තීරණය වෙනවා. අපි රැකගත් ජනතා අයිතිය රැක ගන්නවා ද අතහරිනවා ද යන්න තීරණය කළයුතු වෙනවා. අපිට පැමිණි තර්ජන සියල්ල ඉවසාගෙන සිටියා. අපේ පක්ෂයට ශක්තියත් දෙන්න කොළඹට පැමිණි ඔබ සැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා,

මීට වසර දෙකකට පෙර අපි අඛණ්ඩව පවත්වාගෙන ආව මැයි දිනය පවත්වන්න නොහැකි වුණා. එක් පැත්තකින් කොවිඩ් අර්බුදය නිසා සියල්ල් නතර කරන්න සිදුවුණා. දෛනිකව පැය 12 ක් පමණ විදුලිය කැපුවා. ගෑස්, ඉන්ධන, ආහාර නොමැතිව සිටින විට දේශපාලනය අවියක් කරගෙන එදා පැවැති ආණ්ඩුව පෙරළන්න උත්සාහ කළා. මේ රටේ පැවැති අර්බුදය බොහෝ දෙනෙක් ලඝු කලේ අපේ ආණ්ඩුවටයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී මේ රටේ විදුලිබල පද්ධතියට අවශ්‍ය බලාගාර ටික එකතු වුණා. හැම නිවෙසකටම අවශ්‍ය විදුලිය ලබාදුන්නා. එදා නොරොච්චෝලේ ව්‍යාපෘතිය අවසන් කළා. සාම්පූර් බලාගාරය හදන්නත් තීන්දු කළා. උමා ඔය ව්‍යාපෘතියත් පටන් ගත්තා. 2015 වසරේ බල පෙරළිය සමඟ බලාගාර ස්ථාපිත කිරීම නතර කළා. වසර 76 ක් පුරා මේ මේ අය තමයි රට විනාශ කළේ කියා එක්තරා පක්ෂයක් පැවසුවා. මේ රට විනාශ කළ ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකයි. එල්.ටී.ටී.ඊ කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනවා. විදුලිබල ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුකළා. සාම්පූර් ඉදි නොකිරීම නිසා සිදුව තිබෙන අවාසිය වසරකට රුපියල් කෝටි 3200 ක් පමණ වෙනවා. ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න කියනවා උමා ඔයේ හිලක් තිබෙනවා කියලා.

සෞඛ්‍ය හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

2024 මැයි දිනය අපිට වැදගත්. මම මුලින්ම මැයි දිනයකට අවේ 1984 වසරේ දී. මගේ තාත්තා එක්ක මම එදා ආවා. ගාල්ල අක්මීමන ආසානය තමයි තාත්තා නියෝජනය කළේ. අපේ දිස්ත්‍රික්කයේ ඇතැම් ගම්මානවලට 2000 වසරේ දී තමයි විදුලිය ආවේ. අපේ ගෙදරට 1980 වසරේ දී දුරකතනයක් ලැබෙනවා. 1948 වසරේ දී අපි නිදහස ලබනවිට වසර 450 ක් පමණ අපි පූර්ණ යටත් විජිතයක් වශයෙන් තිබුණා. නිදහස් ශ්‍රී ලංකාව ලෙස අපට බාරදුන්නේ මොනවාගේ රටක් ද ? 2500 වසරක ඉතිහාසයේ විශිෂ්ඨතම කොටස ලියවෙන්නේ පසුගිය වසර 76 ක කාලයේදී. පාසල් දරුවන් අද අධ්‍යාපනය ලබනවා. විශ්ව විද්‍යාලයට යනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. එහෙම රටවල් ගොඩක් ලෝකයේ නැහැ. සුද්දන්ගෙන් නිදහස ලබන විට මිනිසාගේ ජීවත්වීමේ ආයු කාලය අවුරුදු 42 ක් වුණා. දැන් 79 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් ඉන්නවා. අපේ කාලයේ මෙරටට විශිෂ්ඨ සේවයක් ඉටුකර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ කාලයේ පාරක් හදන්න, පාලමක් හදන්න, පාසලක් හදන්න, රෝහලක් හදන්න කිසිදා සහායක් නොදුන් පිරිස කියනවා මේක ශාපයක් කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මේ රට විශිෂ්ඨ සංවර්ධන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුණා.

වාරිමාර්ග, වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ නොපෙනෙන්න සංවිධානය කොට පේන්න ජනබලය එළියට ගේන මහා බලවේගයක්. විපක්ෂය මවිතයට පත්කරමින් ඒ මහා ජනබලවේගය එක්කළ ඉතිහාසයක් අපේ පක්ෂයට තිබෙනවා. සියලු දෙනාම මවිතයට පත්කරමින් පළාත් පාලන මැතිවරණය දිනූ හැටි අපිට මතකයි. එසේ ජයග්‍රහණය කරගෙන යනවිට අපිට හතුරු බලාවේග එකට එක්ව කුමන්ත්‍රණයක් කළා අපේ ජයග්‍රහණය බිදවට්ටන්න. අපේ රටට කොවිඩ් ආවා. ඒ නිසා සංචාරකයන් ආවේ නැහැ. නමුත් මෙවැනි තත්ත්වයකින් පසුව අපේ රට ආර්ථික වශයෙන් අර්බුදයක් නිර්මාණය කළේ අපිට හතුරු බලාවේගයි. ව්‍යාජ අර්බුදයක් ඇති කළා. අරගලය නමින් සුවිසල් කුමන්ත්‍රණයක් නිර්මාණය කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ශක්තිය වන මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව රාජපක්ෂවරු වට්ටන්නේ නම් ඔවුන්ගේ අරමුණ ඉටුකර ගන්න බැලුවා. ඇතැම්විට බටහිර ප්‍රජාවත් සමඟ එක්ව විවිධ කුමන්ත්‍රණ කළා. අපේ පාක්ෂිකයන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තිබ්බා.

කුමන කුමන්ත්‍රණය කළත් අපි සැම එකට එක්ව ගම්බිම්වල සංවිධානය කිරීම කිසිවෙකුට නතර කරන්න බැහැ. ඇතැමුන් තමන් විසින්ම නිර්මාණය කළ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ යන වේගයට ගම්බිම් මට්ට්මින් ගොස් තවදුරටත් ශක්තිමත් කොට කිසෙවෙකුටත් නතර කරන්න නොහැකි පරිදි ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණයක් කලහැකි වෙනවා. අපිට මැතිවරණයක් අවශ්‍ය වෙනවා. අපේ සංවිධානය ගම්බිම් මට්ටමින් සංවිධානය කරන්න බැසිල් රාජපක්ෂ මහතා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ රටේ ආර්ථිකය සවිමත් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය ලබාදෙනවා. මේ රටේ සියලු දෙනාට ප්‍රතිලාභ ලබාදෙන්න මේ රජය වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා,

අපි 2015 වසරේ දී පරාජයට පත්වුණාට පස්සේ මගේ නිල නිවාසයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරදී එළියට බැස්සා. පක්ෂය බාරදෙන්න එපා කොහොම හරි අල්ලාගෙන ඉමු කියා මම එදා කිවුවා. නමුත් මහින්ද මහත්තයා කිවුවේ මේ පක්ෂයට කිසිම හානියක් වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි එළියට බහිමු කිවුවා. නමුත් පසුකාලීනව පංච මහා බලවේගය විනාශ වෙමින් තිබුණා. නමුත් මේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය එයින් අනතුරුව බිහිවුණා. ඉතා කෙටි කලකින් සෑම මැතිවරණයක්ම ජයගන්න අපිට හැකියාව ලැබුණා. 2015 වැටුණාම අපි නැවත ශක්තිමත් වුණා. අපි වැටුණු වැටිල්ල නැවත ශක්තියක් කරගෙන ඉදිරියට ගමන් කළයුතු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් මේ රටේ ශක්තිමත් කන්ඩායම බවට පත්කළ යුතු වෙනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා,

ලංකාවේ සෑම තැනකම සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ වුණු මේ රටේ වැඩකරන ජනතාවට මගේ ස්තුතිය පිරිනමනවා. මේ රට වැඩබිමක් බවට පත්කළ විශාල පිරිසක් අද මේ අවස්ථාවට එක්ව සිටිනවා. අපි සියලු දෙනා එක්ව මේ රටේ ප්‍රබලම දේශපාලන බලවේගය නිර්මාණය කර තිබෙනවා. අපි ජයග්‍රහී මාවතක පැමිණියා. ඇතැමුන් අපේ ආන්ඩුව වට්ටන්න පියවර ගත්තා. මේ නායකයින් රටින් යයි. ආණ්ඩුව දාලා යයි සිතුවා. අපිට ඡන්දය දුන්න 69 ලක්ෂයේ ජනතාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි ඔවුන්ට සාධාරණය ඉටුකරන්න යළි ආණ්ඩු බලයක් ගන්න අවශ්‍ය කටයුතු කරනවා. වත්මන් ජනාධිපතිවරයා සමඟ අපි එක්ව කටයුතු කරනවා. දේශපාලන මත දෙකක ඉන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගන්නා විට මේ රට යුද බිමක්. ඒ යුද බිම තුළ යුද්ධය අවසන් කොට මේ රට වැඩබිමක් බවට පත්කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. එයින් පසුව වැඩබිම 2015 වසරේ දී දඩබිමක් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා බාරගත්තේ වැටුණු ආර්ථිකයක් සමඟයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතයට ද මුහුණ දුන්නා. ඊට මුහුණ දීම තුළ ආර්ථික වශයෙන් රට යම්කිසි පසුබෑමකට ලක්වුණත් ජනතාවගේ ජීවිත බේරා ගන්න සමත්වුණා.

ඒකීය රටක් ලෙස අපේ රට ආරක්ෂා කළයුතු වෙනවා. අපේ රටේ නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු වෙනවා. ඒ සඳහා ගොවියා ආරක්ෂා කළයුතු වෙනවා. දේශීය ගොවියා, ධීවරයා ආරක්ෂා කළයුතු වෙනවා. පරිභෝජනය අවම කොට බලශක්තියට විසඳුමක් සොයන්න බැහැ. බලශක්තියෙන් ස්වයංපෝෂිත වුණොත් පමණයි ආර්ථික වශයෙන් සවිමත් වෙන්න පුළුවන් වෙන්නේ. උමා ඔය 2015 වසරේ දී අවසන් කොට තිබුණා නම්, සාම්පූර් බලාගාරය අවසන් කොට තිබුණා නම් බලශක්ති අර්බුදයක් පැමිණෙන්නේ නැහැ. ඉදිරියේ දී රාජ්‍ය සම්පක් ආරක්ෂා කළයුතු වෙනවා. අපි ආයේජන ගෙන එනවාට විරුද්ධ නැහැ. එම ආයෝජන රැගෙන එන ආකාරය සම්බන්ධයෙව් අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒ වගේම අපි තාක්ෂණය සමඟ මේ රට බද්ධ කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ජාතික වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළයුතු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයයි. මේ රටේ තරුණ දේශපාලන කණ්ඩායම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවයි. මූලික හර පද්ධතියක් අපියට තිබෙනවා.

එම හර පද්ධතිය ආරක්ෂා කළොත් පමණයි අපේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. කෙටිකාලීන දේශපාලන අරමුණුවලට අපි යටවිය යුතු නැහැ. සියලු ජාතීන්, ආගමිකයන් එකට ජීවත් වියයුතු වෙනවා. නූතන පරම්පරාවේ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් දේශපාලන වැඩපිළිවෙලක් නිර්මාණය කළයුතු වෙනවා. අපේ පක්ෂයේ මූලික හර පද්ධතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවශ්‍ය පියවර ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා,

අද අපි ඵෙතිහාසික මැයි දින රැළියක් පවත්වනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත්වුණායින් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉවරයි කියා බොහෝ පිරිසක් සිතුවා. නමුත් මේ රටේ පොදුජනතාව තවමත් අපිත් එක්ක ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ජනතාවට විශිෂ්ඨ සේවාවක් සිදුකර තිබෙනවා. කම්කරු ප්‍රඥප්තිය ඇතිකර වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතතාව ඇතිකර තිබෙනවා. වැඩ වර්ජන කළ ජනතාව සමඟ සාකච්ඡා කොට ප්‍රශ්න විසඳන්න පියවර ගත්තා. මේ රට බේරා ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පියවර ගත්තා. අද එතුමාගේ පුත්‍රයා මේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා. අපේ පක්ෂය ඉදිරියටම ගමන් කරනවා. 2015 වසරේ දී ජාත්‍යන්තරය සමඟ එක්ව මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කටයුතු කළා. නමුත් පසුව 2019 වසරේ දී අපේ පක්ෂය ජනාධිපතිවරයෙක් ඉදිරිපත් කළා. අපි දුෂ්කර කාලය පසුකර ඉදිරියට ගමන් කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියන්න කැමැතියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

අද ලෝක කම්කරු දිනයයි. විවිධ ස්ථානවල මැයි රැලි රැසක් පැවැත්වෙනවා. නමුත් වැඩිම සහභාගිත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි රැලියයි. මෙය සාර්ථක කර ගන්න පැමිණි සැමට අපේ ගෞරවය පිරිනමනවා. මෙය පවත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ කම්කරුවන් වෙනුවෙන් කතා කළ, වැඩකළ, පාරට බැස්ස රාජ්‍ය නායකයෙක්, අගමැතිවරයෙක්, ඇමැතිවරයෙක් සිටියා නම් ඒ මහින්ද රාජපක්ෂ මහතා පමණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය වෙනවා. අපේ පක්ෂය තමයි වැඩිම පාර්ලිමේන්තු නියෝජනය. මේ රටේ අවුරුදු 30 ක යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න නායකයා මේ පක්ෂයේ නායකයායි. මේ රටේ සියලු සංවර්ධන කටයුතු අපේ ආඅණ්ඩුවෙන් සිදුකළ සංවර්ධනයන් වෙනවා. මේ වසර ඉතාම තීරණාත්මක වසරක්. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්න නියමිතව තිබෙනවා. මේ මැතිවරණයට විවිධ පුද්ගලයන් ඉදිරිපත් වෙන්න ජනතාවට කතා කරනවා. අනුර කුමාර දිසානායක මහතාත් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දැරූ මතය ජනතාව දන්නවා. ඒක ජනතාව අවබෝධ කරගෙන ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

තවම අපි සටන පටන්ගෙන නැහැ. සටන පටන් ගන්න විට අපි කතා කරනවා. රතුපාට අද පේන්න නැහැ. වැඩ කරන ජනතාව වෙනුවෙන් කතා කළ, වාමාංශිකයන් නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ අද ඉන්දේ ධනේෂ්වර රටවල්වලට ගොස් ඩොලර් අරගෙන එන පිරිසක් ඉන්නේ. මේ අය ෆේසිබුක් රැල්ලක් සාදා එන ඡන්දයෙන් පරදින්න පෙර ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට යනවා. පරදින්න පෙර විවිධ රටවලට ගොස් සල්ලි එකතු කරගෙන එනවා. එම පක්ෂය මේ රටේ 60000 ක් ඝාතනය කළා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එදා රූපවාහිනී සාකච්ඡාවේ දී බියට පත්ව සිටියා. ඒක අපි දැක්කා. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගන්න කිසිඳු ගැටළුවක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා,

ශ්‍රී ලංකාවේ පවත්වන මැයිදින රැලි අතර ලක්ෂයට ආසන්න පිරිසක් අපේ රැලියට එක්ව සිටිනවා. අපේ එක්කෙනෙක් මරණ විට නිවාසවලට ලහන කොට හිතුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉවරයි කියා සිතුවා. වැඩකරන ජනකාවගේ මැයිදින රැලියට සම්බන්ධ වූ සැමට අපේ ගෞරවය පිරිනමනවා. වැඩ කරන ජනකාව පක්ෂ, පාට භේදයකින් තොරව කැම්බල් පිටියට පැමිණියේ මුඩුබිමක් බවට පත්වූ යළි වැඩබිමක් බවට පත් කරන්නයි. ජනතා විමුක්ති පෙරමුණට කතා කරන්න පුළුවන් වැඩ බැහැ. සජිත් මහත්තයාටත් කයිය විතරයි. වැඩ බැහැ. මොළයක් නැහැ. හැම තැනම කුහකකම, දුෂ්ටකම විතරක් තිබෙන අනුර කුමාර දිසානායකට ඡන්දය දෙන්න කවුරුහරි සිතනවා නම් ඒවා හීන විතරයි. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙලා නැහැ. ඒක තමයි අනුර කුමාර දිසානායකට වෙලා තිබෙන්නේ. වැඩකරන ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,

මේ ඵෙතිහාසික මැයි රැළියට රටේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ සිටිනවා. අපි වැටිලා කෙටි කලකින් නැඟිටීම කියන එක ඔලිම්පික් තරගයක දී නම් රන් පදක්කමක් දිනීම වෙනවා. මේ නැඟී සිටීමේ වටිනාම සම්පත වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. නැවක් වරායේ නැංගුරම්ලා තිබෙන තුරු සුරක්ෂිතයි. නමුත් නැව් තනා තිබෙන්නේ වරායේ නතර කිරීමට නොවන බව බැසිල් රාජපක්ෂ මහතා වරක් පවසා තිබෙනවා. අරඟකරුවන්ගේ වෙස්මුහුණු තුළින් පැමිණෙන පිරිස් විශාල පිරිසක් එනවා. එරික් සොල්හයිම් පැමිණ කිවුවේ අපි වැටුණු තැනින් ඉතා ඉක්මණින් නැඟිට තිබෙනවා කිවුවා. සොබාදහම නිර්මාණය කළ දේ හැර සෙසු සියල්ල මේ රටේ නිර්මාණය කළේ කම්කරුවන් විසින්. සෑම සුන්දර දෙරයක්ම බිහිවුණේ අම්මාගේ කිරිවලින්, හිරුගේ රස්මියෙන් සහ කම්කරුවන්ගේ දහදියෙන් වෙනවා. මේ රටේ වැඩකරන ජනතාවගේ වීරයා මහින්ද රාජපක්ෂ මහතායි. මිනිස්සුන්ට වැඩට ගොස් සුරක්ෂිතව නිවෙසට යන්න පුළුවන් පර්සරයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ රටේ ජනකාවට වරප්‍රසාද විශාල ප්‍රමාණයක් ලබාදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී වීරසිංහ මහතා,

එදා අපිට එකතු වෙන්න මහ ගෙදරක් හදන්න අපේ නායකයෝ කටයුතු කළේ සිරගෙදර සිටයි. අපිට අලුත් පක්ෂයක් හදා දෙන්න බැසිල් රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තිබෙන පිරිසක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයිදින රැළියට එක්ව තිබෙනවා. ඉතිහාසයේ මේ රට යුද බිමක්. ඉතිහාසයේ මේ රට මුහුණ දුන්න තත්ත්වය අපි දන්නවා. අපි ජීවත්වුණු රටට නායකත්වය දෙමින් අපිව ආරක්ෂා කරමින් අපිව ජීවත් කරමින් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. එදා මේ රට වැඩ බිමක් බවට පත්වුණා. ඒවායේ ප්‍රතිඵල ගමට ආවා. අපිට කුමන්ත්‍රණ රැසකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. ඉතිහාසයේ සිට මේ රටේ ක්‍රමන්ත්‍රණවලට මුහුණදුන් නායකයන් සිටිනවා. මේ රට පාවාදීම් නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට එදා ඔටුන්න අහිමි වෙනවා. මේ රටේ මිනිස්සුන්ට කළ දේ අද මෛත්‍රීපාල සිරිසේන මහතාට විඳින්න සිදුව තිබෙනවා යැයි පැවසීය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, ජනාක වක්කුඹුර, සිසිර ජයකොඩි, කනක හේරත්, තාරක බාලසූරිය, ඩී.වී චානක, අනුරාධ ජයරත්න, ප්‍රසන්න රණවීර, රෝහණ දිසානායක, ඩී.බී හේරත්, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, එස්.බී දිසානායක, ආචාර්ය සරත් වීරසේකර, සම්පත් අතුකෝරාල, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, කුමාරසිරි රත්නායක, මුදිතා සොයිසා, වීරසේන ගමගේ, ලලිත් වර්ණකුමාර, නාලක කෝට්ටේගොඩ, ධමිමික පෙරේරා, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may have missed