අමාත්‍යාංශ 15ක් ඇති ඇමති මණ්ඩලයක්තාර්කිකත්වය තහවුරු වෙන විදිහට – කාර්යක්ෂමතාවය ඉහළ යන විදිහට හදපු ආකෘතියක්වෙරිටේ රිසර්ච් ඉදිරිපත් කරයි


2024 මැයි 09 වැනිදා කොළඹදී ය.
වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකර ඇති අධ්‍යනයකින් අමාත්‍යාංශ 15කින් යුත් ඇමති මණ්ඩලයක් හරහා ශ්‍රී ලංකාවේ සියලුම රාජකාරි, කාර්යයන්, ආයතන සහ නීති කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ව්‍යුහගත කර සංවිධානය කළ හැකි ආකාරය දැක්වෙන ආකෘතියක් ඉදිරිපත් කර ඇත.
මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් හිමි 1988 පරිපාලන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වැඩකටයුතු සහ අන්තර්ජාතික මට්ටමින් පිළිගැනෙන යහපත් පිළිවෙත්, මෙම ආකෘතියට පදනම් කරගෙන තිබේ.
කැබිනට් අමාත්‍යාංශ පිහිටුවීමේ දී මතුවිය හැකි ප්‍රධාන ගැටලු දෙකකට හැකි උපරිම අයුරින් විසඳුම් ලැබෙන සේ එය නිර්මාණය කර තිබෙන අතර, එම ගැටලු පහත දැක්වේ.

  1. ගැලපෙන විෂයන් බෙදා වෙන් කිරීම: එක්ව ගත හැකි විෂයයන් විවිධ අමාත්‍යාංශවලට බෙදා තිබීම අපගේ කැබිනට් අමාත්‍යාංශවල ව්‍යුහය අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකි එක් ගැටලුවකි. නිදසුනක් වශයෙන්, එක් වතාවක් කෘෂිකර්මය, වාරිමාර්ග, පශු සම්පත් සංවර්ධන සහ පොහොර යන විෂයයන් විවිධ අමාත්‍යාංශවලට බෙදා වෙන් කර තිබී ඇත.
  2. නොගැලපෙන විෂයන් එකතු කිරීම: එකිනෙකට ගැලපීමක් නොමැති විෂයයන් එකම අමාත්‍යාංශයක් යටතට අනුයුක්ත කර තිබීම අනෙක් ගැටලුවයි. නිදසුනක් වශයෙන්, සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු සඳහා එක් අමාත්‍යාංශයක් ද, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා සඳහා එක් අමාත්‍යාංශයක් ද වශයෙන් අමාත්‍යාංශ නිර්මාණය කර තිබී ඇත.
    මීට අමතරව ආණ්ඩුව වඩාත් අකර්මන්‍ය කරන ගැටලුවක් වන්නේ නිරන්තර වෙනස්වීම් ය. නිදසුනක් වශයෙන්, 2010 සිට 2023 දක්වා, අමාත්‍යාංශවල සංයුතිය, ඒවාට අයත් ආයතන සහ ඒවාට පවරා ඇති පනත් ඇතුළු සියල්ල අවම වශයෙන් ගැසට් පත්‍ර 111ක් හරහා නැවත නැවතත් වෙනස් කර ඇත. මෙම සෑම ගැසට් පත්‍රයක්ම ප්‍රකාශයට පත්කර ඇත්තේත්, ආණ්ඩුවේ ව්‍යුහයට අදාළ වෙනස්කම් සිදුකිරීමේ අරමුණින් වේ.
    නිසි අයුරින් සැලසුම් කරන ලද අමාත්‍යාංශ මණ්ඩලයකට පැවරිය යුතු රජයේ සියලුම අංග සම්පූර්ණයෙන් ඇතුළත් මෙම ආකෘතිය කැබිනට් මණ්ඩලයක් පිහිටුවන විට ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ යුතු ගැසට් පත්‍රයක් ලෙසින්ම සකස් කර ඇත.
    මෙම ආකෘතිය පිටුපස ඇති න්‍යාය සහ චින්තනය 2020 දී ‘ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල පිහිටුවීම සඳහා තාර්කික ක්‍රමවේදයක්’ යන මාතෘකාව යටතේ වූ ධවල පත්‍රිකාවකින් ප්‍රකාශයට පත්කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කළේ ය.
    මෙම ආකෘතිය සහ එයට පදනම් වූ අධ්‍යනය ශ්‍රී ලාංකේය ජනතාවට කාර්යක්ෂම හා ඵලදායී ලෙස සේවය කරනු ලබන ආණ්ඩු ව්‍යුහයක් සැළසුම් කිරීමේ භාරදූර්ය කාර්යට සහයක් වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රධාන දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කෙරේ.
    වැඩි විස්තර සහ මෙම ලේඛන වෙත ප්‍රවේශ වීම සඳහා කරුණාකර පිවිසෙන්න https://www.veriteresearch.org/publication/blueprint-for-a-rational-cabinet-in-sri-lanka/ .

You may have missed