ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (10) විවෘත කෙරිණි.

ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකම විජයග්‍රහණයට පෙරමඟ සකසමින් පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (10) විවෘත කෙරිණි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානය ආසන්නයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටා තිබෙන අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් දින නියම කිරීමෙන් පසුදින එම කාර්යාලය විවෘත කිරීම ද විශේෂත්වයකි.

14000 ක් පමණ වන මෙරට ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගනිමින් මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර පරිගණක 160 ක් ආධාරයෙන් සකස්කළ දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කටයුතු සිදුකෙරේ. ඒ වෙනුවෙන් සැදුම්ලත් කාර්යය මන්ඩලයක් මේ සදහා යොදවා සිටින අතර දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.

සෑම ආසනයකටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් නියෝජිතයෙකු බැඟින් මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ කර ගන්නා බවද ඒ ඒ අනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මෙම මෙහෙයුම් කාර්යාලය සක්‍රියව දායකකර ගන්නා බවද එම පක්ෂය පෙන්වාදෙයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පෙන්වාදෙන ඒ මහතා ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවද එම ජයග්‍රහණය රටේ අනාගතය තීරණය කරන්නක් බවද පෙන්වාදෙයි.

බත්තරමුල්ලේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නමුත් ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා මේ දක්වා තීරණය කර නොමැති බවයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය එළඹෙන 18 දාට පෙර දැනුම්දෙන බවට ප්‍රකාශයක් කර ඇතැයි පෙන්වාදුන් ඒ මහතා තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තීන්දුව ඉතා ඉක්මණින් ගන්නා බවද පැවසීය.

පක්ෂයේ තීන්දුව ගත් පසුව නායකත්වයට දන්වන බව සදහන් කළ බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ජනාධිපතිවරයාට සහයා ලබාදෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂය විසින් ගන්නා බවද සදහන් කළේය. කෙසේ වුවද තරුණයන්ට අවස්ථාවක් ලබාදෙන පක්ෂයක් ලෙස ජාතික සංවිධායකවරයා වශයෙන් නාමල් රාජපක්ෂ මහතා තෝරාගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා , ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහා ලේකම් සාගර කාරියවසම්, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්.චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, අජිත් රාජපක්ෂ, පියල් නිශාන්ත, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, රෝහන දිසානායක, ශෂේන්ද්‍ර රාජපක්ෂ, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ඩි.බී.හේරත්, කනක හේරත්, සරත් විරසේකර, රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ, මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත්,ඩබ්.ඩී.වීරසිංහ, ධම්මික පෙරේරා, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, සුදර්ශන දෙණිපිටිය, ලලිත් වර්ණකුමාර, පී.දොලවත්ත , උපුල් මහේන්ද්‍ර, සම්පත් අතුකෝරළ යන මැති ඇමතිවරුවන්, ප්‍රාදේශීය සභා, පළාත් සභා නියෝජිතයින් සහ පක්ෂයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වීය.

You may have missed