SLT-MOBITEL වෙතින් රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR)  යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබේ.  මේ යටතේ පරිත්‍යාග කරන ලද පළමු යන්ත්‍රය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම යන්ත්‍රයෙහි වටිනාකම රු. මිලියන 5 කට අධික ය.

SLT- MOBITEL නියෝජනය කරමින් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා විසින් මෙම යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී මානෙල් විමලරත්න මහත්මිය වෙත පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කණක හේරත්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ පළාතේ සෞඛ්‍ය අංශ නිලධාරීන් රැසක් ද, SLT-MOBITEL නියෝජනය කරමින් එහි කාර්යමණ්ඩල සාමාජිකයින් සහ කරවනැල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩල නියෝජනය කරන පිරිසක් එක්වූහ.

රෝහල් වල සහ රජයේ ඉල්ලීම් පරිදි ඉදිරියේදී මොනරාගල මූලික රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහල යන රෝහල් වෙතද PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.

ඉහත සඳහන් රෝහල් අදාළ ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකරන නමුත්, COVID-19 රෝගය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ උපකරණ හිඟ වීම නිසා එම රෝහල් වලට හා ජනතාවට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇත. එම නිසා එම ජනතාවට PCR පරීක්ෂණ සඳහා වෙනත් නගර වෙත හෝ, ඇතැම් විට කොළඹ නගරයට පවා පැමිණීමට සිදුවී තිබේ.

මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසී ය. “මෙම රෝහල් වලට PCR යන්ත්‍ර වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගත් නිසා අප වඩාත් ඉක්මනින් එම යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කළා. සාමූහික, පරිපූර්ණ සහ සැලසුම් සහගත ලෙස කටයුතු කිරීම මගින් මෙම අභියෝගය ජයගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. මේ දුෂ්කර කාලපරිච්ඡේදයේදී ඒ වෙනුවෙන් රටට නොසැලෙන ශක්තියක් වීමට අප සූදානම්.”

ජනතාවගේ අවශ්‍යතා සපුරාලන අතරම රටේ දුෂ්කර ග්‍රාමීය හා තදාසන්න ප්‍රදේශ වල ජනතාවට අත්වැලක් වීම ඉලක්ක කරගත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක එක් අදියරක් ලෙස මෙම PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට SLT-MOBITEL කටයුතු කර තිබේ. 

පළමු යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලට සංඛේතවත් ලෙස පරිත්‍යාග කෙරුනු අයුරු

You may have missed