නව ග්‍රාම නිලධාරින් දෙදහසක් බඳවා ගැනේ


රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් දෙදහසකට නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් 2024.05.08 අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණී.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –
අපි බලන්නේ ඔබේ අනාගතයත්, ජනතාවගේ අනාගතයත් හොඳ තත්ත්වයකට ගෙන එන්නයි. එහි විශාල වගකීමක් ඔබට තිබෙනවා. රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරී කොට්ඨාශයට වග කියන්නේ ඔබයි.
ඔබට තිබෙන්නේ පරිපාලන කටයුතු විතරක් නෙවෙයි. ඒ ගැන ඔබ මතක තබා ගත යුතුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී අපිට මේ රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් දියුණු කරන්න පුළුවන් වුණා. මූලික වශයෙන් 2022 ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව මමත් අගමැතිතුමා සහ සියලු දෙනා රටේ සංවර්ධනය ඇතිකළා. සංවර්ධනය පටන් ගත්තේ නගරයෙන් නෙවෙයි. ගමෙන්. 2023 සාර්ථක යල කන්නයක් ක්‍රියාත්මක කරන්නට පුළුවන් වුණා. ආපහු සාර්ථක මහ කන්නයක් ආවා. ඒ නිෂ්පාදනයෙන් තමා අපිට මේ තත්ත්වයට එන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම අපට තවදුර යන්න තිබෙනවා. මේ වැඩ කටයුතු සාර්ථක වුණ නිසා, අගමැතිතුමාගේ ඉල්ලීම අනුව ග්‍රාම නිලධාරීන් දෙදහක් බඳවා ගන්න මුදල් අපේ භාණ්ඩාගාරයට ලබා දෙන්න පුළුවන් වුණා.
දැන් ඔබ සියලු දෙනාම ඒ සේවයට ඇතුල් වෙලා තියෙන්නේ. පරිපාලන වැඩ කටයුතු පමණක් නෙවෙයි, ආර්ථිකය දියුණු කරන්න සංවර්ධන වැඩකටයුතු කිහිපයක් තිබෙනවා. මේකෙන් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් එකතුවන කාරණා හතරක් ගැන මම කියන්න කැමතියි. පළමුවෙන්ම අපි අලුතෙන් අස්වැසුම ක්‍රමය ඉදිරිපත් කළා. සමෘද්ධය තිබුණා. ඊට පස්සේ අස්වැසුම ගෙනාවා. මේ රටේ ජනතාව දුක් විඳලා තියෙන නිසා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරලා සමෘද්ධිය වගේ තුන් ගුණයක් දීමනා වැඩි කරන්න අවස්ථාව ලැබුණා.
මාර්ගගත ක්‍රමය මේ අවුරුද්ද අවසාන වන විට සාර්ථකව ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ලබන වසරේ මේ වැඩ කටයුතු තවත් පහසු වෙනවා. ගමට දෙන සහන ප්‍රමාණය වැඩි වුණා. අනිත් අතින් සහන දෙන සංඛ්‍යාව වැඩි කරන්න කියලා අපි එකඟ වෙලා තිබෙනවා.
සමහර ප්‍රදේශවල ඉඩම් වලට සින්නක් කර අයිතිය නැහැ. තිබෙන්නේ ඉඩම් සංවර්ධන පනත යටතේ බලපත්‍ර විතරයි.පරම්පරා දෙකක් තුනක් හතරක් යනකන් අයිතියක් නැහැ. ගොවිතැන් කරන්න පුළුවන්, වෙන වගා වැඩ කටයුතු කරන්න පුළුවන්, තමන් ජීවත් වන නිවසක් වෙන්න පුළුවන්, තමන්ට ඒ අයිතිය නැහැ. අද අපි බලන්නේ ඒ සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබා දෙන්නයි. අයිතිය ලබා දෙන්නයි.
අපේ ආර්ථිකය දියුණු කරන්නට නම් අපේ කෘෂිකර්මය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා නවීකරණ කමිටු පත් කරලා ගොවීන් එකතු කරගෙන ආරම්භ කරලා තියෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 25කට මිලියන 25 ගානේ ලබා දීලා තිබෙනවා. ලබන වසර වෙනකොට 25 සීය, එකසිය පනහ, කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාම ඊට සහභාගී විය යුතුයි. විශේෂයෙන්ම ගමේ කෘෂිකර්මය දියුණු කරන්නේ නැතුව ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. කෘෂිකර්මය සාර්ථක නම් ගමත් සාර්ථක වෙනවා.
කෘෂි නවීකරණයෙන් තමයි ඉදිරියට යන්න තියෙන්නේ. අප දකිනවා සමහර ගම් විශේෂයෙන්ම දකුණේ සංචාරක ව්‍යාපාරය නිසා ඉතා දියුණුවට පත් වෙනවා. ඊළඟ දශකයට වැඩ කරන්න. මේ හැම එකේම අරමුණ වන්නේ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි. ගම දියුණු කිරීමයි. අප මෙතෙක් කල් යටිතල පහසුකම් ලබා දුන්නා. දැන් ආර්ථිකය දියුණු කරනවා. ග්‍රාම සේවා නිලධාරීන් ඒ කාලේ යටිතල පහසුකම ක්‍රියාත්මක කරන්න සම්බන්ධ වුණා. ඒ ගැන වාර්තා කළා. අද ඔබ සියලු දෙනාටම මේ කාර්යය ට සම්බන්ධ වෙන්න තියෙනවා. එහි වෙනස තමන් ඉන්න ගමේ තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු වෙනවා. බහුතරයක් ඇවිල්ලා තියෙන්නේ ගාමීය ප්‍රදේශවලින්. නගර වලින් නෙවෙයි. ඒ ග්‍රාමීය ප්‍රදේශය අපි දියුණු කරන්න ඕනි. දුප්පත්කම නැති කරන්න ඕනේ. විශේෂයෙන්ම ගම්බද මට්ටමේ අධ්‍යාපනය වගේම සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඕනේ. මේ එහි ආරම්භයයි.
අපේ උරුමය වැඩසටහන යටතේ ඔප්පු ලබා දෙන්න තියෙනවා. මේ ඔප්පු ලක්ෂ අටක් තියෙනවා. සමහර ඒවා මිනින්දේරු දෙපාර්තමේන්තුවේ. සමහර ඒවා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ. සමහර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හිරවෙලා තිබෙනවා. අගමැතිතුමා යෝජනා කරලා ඉතා ඉක්මනින් ජංගම සේවයක් ඇති කරනවා. තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන ඔප්පු ටික හඳුනා ගන්න. කොතනද ඔප්පු හිරවෙලා තියෙන්නේ, කොතනද තියෙන්නේ කියලා ලබන සතියේ පස්සේ වාර්තාවක් ලබාගන්න. අපි මේ ඔප්පු සියල්ලම ඉදිරි මාස දෙක තුළදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා –
රාජ්‍ය සේවය උතුම් සේවාවක්. රාජ්‍යයේ පැවැත්ම, දියුණුව හා සංවර්ධනය ආරක්‍ෂා කරගෙන ඉදිරියට යාමට රාජ්‍ය සේවකයන්ගේ කැපවීම, සුවිශේෂ වගකීමක් ලෙස සලකනවා. අන් සෑම සේවාවකටම වඩා රාජ්‍ය සේවය වැදගත්. අතීතයේ සිට ග්‍රාම නිලධාරි සේවාව උතුම් සේවාවක් ලෙස සැලකනවා. අද ග්‍රාම නිලධාරී වගකීම භාරගන්නා ඔබ සැමදෙනාම මේ බව ගැඹුරින් තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.
මහා ගංවතුර වැනි අනපේක්ෂිත ලෙස ඇතිවෙන ස්වභාවික විපර්යාස වලදී පළමුවෙන් ජනතාව අතරට යන්නේ ඔබයි. එවැනි සිදුවිම්වලදී ග්‍රාම නිලධාරීන් මූලිකත්වය ගත්තා. එලෙස අවදියෙන් සිටකැපවීමෙන් කටයුතු කළ නිළධාරීන් අදත් සිටිනවා. එවැනි බලතල සමුදායක් ඔබට පැවරෙනවා. රාජකාරී ඉෂ්ට කිරීමේදී ඔබට තිබෙන වගකීම් සමුදාය ගැන ඉතාම ගැඹුරෙන් සිතන්න. රාජකාරියේ පරමාර්ථයන් හා අරමුණු ඔබ ඉෂ්ඨ කරයි කියන විශ්වාසය ඇතිවයි රජය අද මේ වගකිම් ඔබට පවරන්නේ.
2021 ග්‍රාම සේවා පත්වීම් 2000ක් වෙනුවෙන් ඔබ සැම ඉල්ලුම්පත් ඉදිරිපත් කළා. එතැන් සිට දීර්ඝ කාලයක් ගත වුණත් ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා අනුමැතියෙන් මුදල් අමාත්‍යංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරගෙන, විභාගය පවත්වලා, ඒ ප්‍රතිඵල මත පුරප්පාඩු සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට පත්වීම් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හැකි වුණා. විභාගයෙන් ලකුණු ලබා ගත්, සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ, සුදුසුකම් සහිත අයටයයි පත්වීම් ලබා දි තිබෙන්නේ.
කොවිඩ් වසංගතයෙන් ලෝකයම පිඩා වින්දා. එය කිසිවෙක් හිතපු තත්ත්වයක් නෙවෙයි. එවැනි සිදුවීමකට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විශාල අත්දැකීමක් නොතිබුණද ,ගමින් ගමට යමින් කොවිඩ් පාලනයට කැපවී කටයුතු කරමින් අවධානමට මුහුණ දුන් වෛද්‍යවරු හා අනෙකුත් නිලධාරීන් අතරට ග්‍රාම නිලධාරීන් ද එක්වුණා. ඔවුන් හැකි උපරිමයෙන් මහජන ජීවිත ආරක්ෂා කරන්නට පිරිස එකතු කරගනිමින් කටයුතු කළා.
ගමක් දෙකක් එකතු කරමින් හා සමහර ගම් කොටස් දෙකක් බවට පත්වෙමින් ග්‍රාම ග්‍රාමසේවා කොට්ඨාශ සැකසෙනවා. මේ ග්‍රාම සේවා කොට්ඨාශ වල මහජන සේවාවවන් පවත්වා ගෙන යාමත්, ජනතාව ආරක්ෂා කර ගැනීමත්, ජනතාවගේ දියුණුව සදහා වූ ක්‍රියාමාර්ග ඇති කිරීම සඳහාත්, ජාතික ප්‍රතිපත්තිය හා රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේත් ප්‍රධානතම වගකීම් ග්‍රාම නිලධාරීන්ට පැවරෙනවා. සෑම ගමක්ම, ග්‍රාම සේවා කොට්ඨාශයක්ම යම්කිසි සංවර්ධනය වැඩපිළිවෙලකට යොමු කර හැකි බව ජනාධිපතිතුමා අයවැයෙන් ප්‍රකාශයට පත් කළා. සෑම ග්‍රාම සේවා කොට්ඨාශයක්ම සෑම දෙයකින්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් සෑම ග්‍රාමසේව කොට්ඨාශයකම යම්කිසි නිෂ්පාදන අවශ්‍යතාවයක් සපුරාලන ප්‍රෙදේශයක් බවට පත් කළ හැකි බව අපි මතක තබාගත යුතුයි. අපි අතිරික්ත ආහාර නිෂ්පාදනයක් සහිත බෝග වගා කළේ එවන් ක්‍රියාදාමයකට මග පෙන්වමින්. ඒ නිසා අපට පුළුවන් කියන විශ්වාසයක් ඇතිකර ගන්න.
රටේ සංවර්ධනය අඩපනකොට අරාජික තත්වයක් ඇති වූ අවස්ථාවක ජනාධිපතිතුමා රට භාරගත්තා වගේම අපේ දිසාපතිවරු ඒ අභියෝගය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා සමග කටයුතු. ප්‍රාදේශීය ලේකම්වරු හා ග්‍රාම සේවා නිලධාරින් එක්වෙලා නිශ්චිත නිලධාරියෙක් නොමැති කොට්ඨාශ පවා ආවරණය කරමින් ඒ රාජකාරිය සාර්ථක කර ගන්න කටයුතු කළා. අද අපේ රට වර්ධනය වන රටක් බවට පත් කරන්න ජනාධිපතිතුමාට හැකිවුණා. ඒ නිසයි ආර්ථික වශයෙන්,දේශපාලන වශයෙන් ස්ථාවර බවක් අද භුක්ති විඳින්නේ.එවැනි අනාගත ලංකාවකට පිවිසිය හැකි විශ්වාසය ඇති කරමින් ඊට පරිසරය සකස් කරමින් මග පෙන්වන ග්‍රාමීය නියෝජිතයන් ඔබයි. ඔබ රාජ්‍ය සේවය ඔබට හිමි කර්තව්‍ය වගකීමෙන් ඉටුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
තාක්ෂණය හරහා කඩිනමින් කේන්ද්‍ර මූලස්ථාන සමග සම්බන්ධ වූ, තොරතුරු පරිවර්තනය කර ගත හැකි වැඩසටහනකට අපි යොමු විය යුතුයි. ඔබ සැමට ඒ ඩිජිටල් තාක්ෂණ දැනුම ලබාදීම, නිර්දේශ කොට, ඊට අදාල පුහුණු පාඨමාලාවන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආරම්භ කර තියෙනවා. ඔබ එසේ කටයුතු කළ හැකි පුරවැසියෙක් බවට පත් කිරීමටත්, පුරවැසියන්ගේ නායකයෙක් බවට පත් කිරීමටත්, සංවර්ධනය නියමුවෙක් බවට පත්කිරීමටත්, අදට වඩා දියුණු ග්‍රාම නිලධාරී සේවාවක් ඇති කිරීමටත් ඔබට හැකි වේවි. මේ පත්වීම් ප්‍රධානයේදී කිසිම අවස්ථාවක, කිසිම ලෙසකින් පක්ෂපාතීභාවයෙන් කටයුතු කරලා නැහැ. විභාග කොමසාරිස්රයා විසින් පවත්වපු විභාගයේ ප්‍රතිඵල අනුව කටයුතු කරන්න අපට පුළුවන් වුණා. එය ඔබ කෙරෙහි තබන විශ්වාසයයි. වගකීමෙන් ඔබේ රාජකාරිය ඉටු කරන්න. රාජ්‍ය පරිපාලනයේ ගමේ පහළම ඉන්න සාමාජිකයා ඔබයි.
මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

You may have missed