ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර වැඩසටහන සඳහා වැය වනමුදල රුපියල් බිලියන 26ක්


අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
යථා‍ර්ථය හා ප්‍රායෝගිකත්වය අපි සැවොම පිළිගත යුතු ය.

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.  රටේ සියලු‍ ම පාසල්  දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගික ව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතු ව ඇතැයි ද ඒ මහතා මෙහි දී පැවසී  ය. 
  අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ  නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, මීට වසර දෙකකට පෙර තිබූ තත්වය ඉතා කෙටි කලක දී හාත්පසින් ම වෙනස් කර රට තුළ සාධනීය වාතාවරණයක් නිර්මාණය කළ  බවයි. ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ  බවත් අද බොහෝ දෙනකුට පෙර තිබූ ව්‍යසනකාරී තත්වය යළි සිහිපත් කළ යුතු ව ඇති බවත් හෙතෙම  පැවසී ය. දිනකට පැය 14ක විදුලි කප්පාදුවක් සමග දින ගණන් ඉන්ධන පෝලිම්වල සිටි යුගය  නිමා කළ බවත් රටේ පැවති යුද්ධය ද නිමා වී ප්‍රජාතන්ත්‍රවාදී  යාන්ත්‍රණය යළි යථාවත් වී ඇති විට එහි වටිනාකම බොහෝ දෙනකුට නොවැටහෙන බව ද හෙතෙම පැවසී ය.  පෙර විද්‍යෝදය හා විද්‍යාලංකාර නමින් පැවති පිරිවෙන් පසු ව ශ්‍රී ජයවර්ධනපුර හා කැලණි සරසවි බවට පත් ව පසු ව එක්තරා කාල සීමාවක දී ඒවා වධකාගාර ලෙසටත් පැවති යුග තිබූ බවත් වත්මන් තරුණ පරපුරට ඒ පිළිබඳ අවබෝධය නොමැති බවත් මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා මහත් පරිශ්‍රමයකින් පසු උදා කරගෙන ඇති වත්මන් සමාජ තත්වය  නැවත සැකසිය නොහැකි ලෙස වෙනස් නොකළ යුතු බව ද කී ය. ඒ සඳහා ජනතාව බුද්ධිමත් ලෙස තීරණ ගත යුතු ව ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ යග
 මෙම  අවස්ථාවට එම ආයතනයේ සභාපති සුරංග මෙන්ඩිස් මහතා,  ආයතයයේ නිලධාරීන් සහ පුහුණුලාභීහු එක් වූහ.


You may have missed