රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයෙන් අත්සන් ව්‍යාපාරයක් ඇරඹේ…

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අද (23) කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ‘යුක්තිය වෙනුවෙන් ජනමතය’ අත්සන් වැඩසටහන නම් එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ විය.

එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් 3 දෙනෙකු සමගි නීතිඥ කණ්ඩායමේ උපුල් ජයසූරිය ජනාධිපති නිතිඥතුමා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් සමඟ ඉතාමත්ම වැදගත් නඩු කටයුත්තකට මීට පෙර දවසක ප්‍රවේශ වූ බවත් එය අභියෝගාත්මක බැරෑරුම් ක්‍රියාදාමයක් වුවත් එමඟින් රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව යි.

එසේ ම මේ රටේ අක්‍රමවත් අකාර්යක්ෂම දුර්වල හා දූෂිත ආර්ථික කළමනාකරණය තුළ රට බංකොළොත් වීම හා එම බංකොළොත්භාවය තුලින් මූලික අයිතිවාසිකම් කඩවීම යන මාතෘකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය 4න් 1ක තීන්දුවක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් මණ්ඩලයේ දෙදෙනකු හැර සෙසු අය මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම තීන්දුව තුළ මුදලට ගිජු නොවූ පක්ෂයක් සහ සන්ධානයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් මේ අවස්ථාවේ දී වන්දි ලබා නොගෙන මැදමූලන දූෂිත කල්ලිය විසින් ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසා රට බංකොළොත් වීමත් සමඟ ජන ජීවිත කඩා වැටුණු ලක්ෂ 220ක් වූ ජනතාවත් ව්‍යාපාරිකයන්ටත් තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව උදා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මෙම අත්සන් මාලාව තුළ විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර ඒ හරහා රටේ උත්තරීතර නීතියට අනුව රටේ ලක්ෂ 220කගේම මුලික අයිතිවාසිකම් කඩ කළ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ජනාධිපතිවරයාට බලකිරීමක් සිදුවන බවත් නැවතත් ඔවුන්ට ඡන්දෙට ඉදිරිපත් විම මෙන්ම ඡන්දය භාවිත කිරීමේ අයිතිය ද අහෝසි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගමක් නගරයක් පාසා ගොස් දශලක්ෂ ගණනින් අත්සන් ලබා ගෙන මේ හරහා ජනාධිපතිවරයා තවදුරටත් රාජපක්ෂ සෙවනේ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා සහ වහලා නොවී ජනතාවගේ ආරක්ෂයා විය යුතු බවට බලකිරීමක් සිදු කරන බවත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ලක්ෂ 220ක් වූ ජනතාව මහපාරට බැස මේ සඳහා අත්සන් කරමින් ‘රාජපක්ෂවරු ආරක්ෂා නොකර ඔවුන්ගේ ප්‍රජා අයිතිය නීත්‍යානූකුලව අහෝසි කරන ලෙසට’ ජනාධිපතිවරයාට බලකරන ලෙස යි.

එසේම රට බංකොළොත් වීම හරහා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ස්ථාපිත කරන බවත් ඊට අමතරව හොරා කාපු අරමුදල් නැවත රටට ගෙන විත් එම පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් දේශපාලන ඩීල් නැතිව හොරු අල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

NEWS CLIP 🚨
https://youtu.be/1TcAmW5IgOk?si=i934WkNNl7_0soyU

You may have missed