කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය ගිවිසුම් ගතවෙයි.

“ව්‍යවසායකත්ව සංස්කෘතියක ප්‍රමුඛ භූමිකාවක් ක්ෂ්‍රද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හිමිවෙනවා”

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම කියයි.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්තයක් කිරීමට නම්, ව්‍යවසායකත්ව සමාජයතුළ වැඩි ඉඩකඩක් හිමිව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් මේවන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දියත් කරතිබෙන බවත්, ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහයෝගය ප්‍රායෝගිකවම, ක්‍රියාශීලීව, අවශ්‍ය වන බැවින් ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායක සංසදය සමඟ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගතවීම සුවිශේෂී අවස්ථාවක් වන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය පසුගියදා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේදී, එම මණ්ඩලය සමඟ ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය වෙනුවෙන් එහි සභාපතිනි සසිකා ද සිල්වා මහත්මිය අත්සන් කරනු ලැබීය.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායකයින්ගේ ගැටළු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීමට සහාය දක්වමින්, ඔවුන්ව දිරිමත් කිරීමට පියවර ගනුඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකළ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

“කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම මත මේ වනවිටත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, මුළු රටේම දිස්ත්‍රික් 25 තුළ, මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල ඔස්සේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවන්නට සක්‍රීයව මැදිහත්වී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම සඳහා මණ්ඩලයේ දිස්ත්‍රක් කාර්යාල සූදානමින් සිටිනවා. ඒවගේම මණ්ඩලය මඟින් මේ වනවිටත් ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා හොඳ වේදිකාවක් සිලෝන් ප්ලාසා නමින් දියත්කරල තියෙනවා. මේ මඟින් අපගේ සියලුම ව්‍යවසායකයින්ට නොමිලේම සේවය ලබාගැනීමට පුළුවන්. ඒවගේම ඉදිරියේදී ඔබගේ සංසදය සමඟ එකතුව ඔබගේ ගැටළු විසඳාදීමටත්, අවශ්‍ය සහාය, සහයෝගය හා දායකත්වය ලබාදෙනවා. ඒවායේ ප්‍රයෝජන ගැනීමට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ද උනන්දු විය යුතුයි. එමඟින් අපගේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් ලෙස ව්‍යවසායක ඔබටත් හවුල්වීමට පුළුවන් වෙනවා” යැයි පැවසීය.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක සංසදයේ සභාපති සසිකා ද සිල්වා මහත්මියද අදහස් දැක්වීය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්.සමරකෝන්, අධ්‍යක්ෂ / ප්‍රාදේශීය සංවර්ධන – පී.පී.පී.එස්.දික්වැල්ල, අධ්‍යක්ෂ / කාර්මික ජනපද – අයි.එම්.ජේ.ඉලංගකෝන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදයේ උපසභාපතිවරුන් වන මහේන්ද්‍ර පෙරේරා, එස්.එන්.රාඝවන්, ජාතික සංවිධායක අජිත් කුමාර, භාණ්ඩාගාරික – ෂෙහාන් විජේසිංහ, ලේකම් – නන්දලාල් ලේකම්ගේ, නිර්මාතෘ සුරාන් වීරරත්න මහත්ම මහත්මීන්ද සහභාගීවිය.

You may have missed