ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන-පාටලී චම්පික රණවක

0

හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා.. ඒත් ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන කුමන්ත්‍රණයක් තිබ්බද කියලා..

රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2024.04.30 වන දින පෙ.ව. 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණ.

එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“මාර්තු 30 වෙනිදා මම රත්නපුරේ දී කරපු ප්‍රකාශයක් ගැන තමයි මේ පරිගණක අපරාධ අංශය එන්න කියලා තිබුණේ. මම හිතුවා අර රටේ බදු නොගෙවපු හොරු, බදු හොරු, ඒ වගේම බැංකු වලට පොලු තියපු හොරු, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන තමයි මේ හොයන්න යන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් ඔය පරණ ප්‍රශ්න වැලම තමයි ඇහුවේ. ඉතින් මම මේ පිළිබඳ සවිස්තරාත්මක සාක්කියක්, කිසිම දෙයක් හංගලා නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභා ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ක්‍රියා කලාද, නැද්ද, මගේ සාක්ෂි සැලකිල්ලට ගත්තද, නැද්ද? කියලා මම දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මම අවස්ථා පහක මේ පිළිබඳව මගේ අදහස් දක්වලා තියෙනවා. ඉතින් ජනාධිපති කොමිෂන් සභාව, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු, කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න කියලා. ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අපිව කැඳව, කැඳවා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මං හිතනවා ඊළඟ ආණ්ඩුවක මේ ආණ්ඩුවෙන් මේක වෙන්නෑ. ඊළඟ ආණ්ඩුවක වැදගත්ම දේ තමයි මේ අපරාධය පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න විසඳලා මේ සැක දුරු කරලා මියගිය 270 දෙනාටත් තුවාල ලැබූ 470කට අධික පිරිසටත් යුක්තිය ඉෂ්ඨ කරනවා. ඒ වගේම මේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙනවා දේශපාලන පාතාලයක්. ඒ දේශපාලන පාතාලයට ඕන විදිහට දේශපාලන පළිගැනීම් සඳහා මේ පොලිසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ පරීක්ෂණ අංශත් ගැනීම ගැන අපි තරයේ හෙළා දකිනවා. අනාගතයේ අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, ඒ වගේම බුද්ධි අංශත් ස්වාධීන කළ යුතුයි. එහෙම නැත්නම් මේ දේශපාලන පාතාලයට අවශ්‍ය විදිහට මේවා හැසිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

Leave a Reply

You may have missed