රජයන් දෙකක් ජනාධිපතිවරු දෙන්නෙක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවූවාට අපි සත්‍ය හෙළිදරව් කර මිස නතර වෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රතිඥාවක්

0

පසුගිය විවාද අවස්ථාවල දී සමගි ජන බලවේගය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද අනාවරණ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර පාස්කු ප්‍රහාරය නොවුණා සේ සලකා නින්දිත ආකාරයට මෙම විවාදයට වගකිවයුතු රජයේ පාර්ශ්ව සහභාගී නොවෙමින් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට නිග්‍රහ සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා ආශිර්වාදයෙන් බිහිවන සමගි ජන බලවේග රජය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා පැහැදිලි කිරීමට කැමති බවත් ඒ යටතේ 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) ඈ වගන්තිය යටතේ දේශීය හා විදේශීය විනිසුරුවන් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවා කොන්දේසි විරහිතව විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අමතර ව ඒ සඳහා වෙනම ම ස්වාධීන කාර්යාලයක් ස්ථාපිත කර එම කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර නීතිපතිවරයා විසින් අපරාධ නඩුකටයුතු ආරම්භ කර ඒ සඳහා විශේෂ අධිකරණයක් ද පිහිටුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම ස්වාධින රජයේ අධිචෝදක කාර්යාලයක් ද ස්ථාපිත කරන බවත් මේ හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මුල් වූ දායක වූ කණ්ඩායම්, මහමොළකරුවන්, ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් ඉහළ ම දඩුවම් ලබා දීමට නොපැකිලෙන බවත් එසේ සිදු කිරීමට යන සියලු දේ රටේ ජනතාවගේ දැනුවත් වීම උදෙසා අද දින හැන්සාඩ් ගත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දින පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදයේ දී අදහස් දක්වමිනි.

සත්‍ය සොයනවා කියපු ගෝඨාභය රජය සත්‍ය වසන් කළා

ගෝඨාභය රාජපක්ෂ රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන්, රියාඩ් බදියුදීන් නම් කර සිටි බවත් ගෝඨාභය රාජපක්ෂ පටන් ගත් දින සිටම පරීක්ෂණ යට ගැසීමට කටයුතු කළ බවත් එහි දී සී.අයි.ඩී එකේ ශානි අබේසේකර ප්‍රමුඛ 30 දෙනෙකු මාරු කිරීම, පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ශානි අබේසේකර නිලයෙන් පහළට දමා දකුණේ ඩී.අයි.ජී. කෙනෙකුගේ පෞද්ගලික සහකාරයකු ලෙස පත් කර විමර්ශන නතර කර සත්‍ය යටපත් කිරීම වැනි අකටයුතුකම් රැසක්ම සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි කිසිම දේකට බය නැහැ. අනිවාර්යෙන්ම සත්‍ය හෙළිදරව් කරනවා

එදා මෙන් ම අද දවසේත් මෙම නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරය සැගවීමට වත්මන් රජයත් කටයුතු කරන බවත් පොලිසිය බාර ඇමතිවරයා 99%ක් විමර්ශන අවසන් බවට ප්‍රකාශ කළත් එවැනි දෙයක් සිදු නොවී ඇති බවත් වත්මන් රජයට පවා මේ ගැන සත්‍ය සොයන්න උනන්දුවක් නොමැති නම් මේ වසර අවසානයේ ජනතා ආශිර්වාදයෙන් බලයට පත් වන සමගි ජන බලවේගය කිසිදු අයකුට, කිසිදු පුද්ගලයකුට යටත් නොවී මුදලට වරදාන වරප්‍රසාදවලට තර්ජන ගර්ජනවලට යට නොවී නිවැරැදි සත්‍ය හෙළිදරව් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

මගේ ඩීල් එක තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාව සමඟ පමණයි

එසේම වත්මන් රජය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පාර්ශ්වයන්ට හිමි නියමිත වන්දි පවා ලබා නොදුන්නත් අරගලය නිසා නිවාස හානි වූ මැතිඇමතිවරුන්ට නම් කලට වේලාවට වන්දි ලබා දීම සිදු කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා කිසිදු තර්ජනයකට ගර්ජනයකට බිය නොමැති පුද්ගලයකු ලෙස හිටපු ජනාධිපතිවරු සමඟ දැමූ ඩීල් තමා සමඟ දැමීමට නොඑන ලෙසත් තමාට මේ සම්බන්ධයෙන් ඩීල් එකක් ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සමඟ පමණක් බවයි.

සත්‍ය හෙළිදරව් කරන්න බැරි නම් ගෙදර යනවා.

මේ ගැන සත්‍ය සොයන්න උත්සාහ කරන විට විවිධ කුමන්ත්‍රණ සිදු කළ හැකි නමුත් ඒ සියල්ලට මුහුණ දීමට තමා සූදානම් බවත් කිසිදු බලවේගයකට කුමන හේතුවකටවත් සත්‍ය හෙළිදරව් වීම නතර කිරිමට ඉඩ නොදෙන බවත් සත්‍ය හෙළිදරව් කළ නොහැකි නම් තනතුරෙන් යන එක තමාට ගෞරවයක් බවත් තමා කිසිදු අවස්ථාවක තනතුරු කියන දේ ඔලුවේ තියාගෙන මාන්නයෙන් සිටින කෙනකු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.

මගේ පියාගේ නාමයෙන් අද මම දිවුරනවා සත්‍ය හෙළිදරව් කරනවා කියා

රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සිය පියාගේ නාමයෙන් දිවුරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ කුමන හේතුවකටවත් කතෝලික ජනතාව, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික පියවරුන් රවට්ටන්නේ නැති බවත් කෙසේ හෝ සත්‍ය හෙළිදරව් කර රටට ඔප්පු කරන බවත්ය.

Leave a Reply

You may have missed