ටී වික්‍රමරත්න මහතාගේ 13 වැනි ගුණ සමරුව

හිටපු අමාත්‍ය දිවන්ගත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික කිංස්ලි ටී වික්‍රමරත්න මහතාගේ දහතුන් වැනි ගුණ සමරුව නිමිත්තෙනි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් දක්වන ලද අදහස් පහතින් දැක්වේ.

සිය විශේෂඥ දැනුම මෙහෙයවමින්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ, ලේකම් , භාණ්ඩාගාරික හා සභාපති ධූර දරමින්,  ජනතාවාදී දේශපාලනයක නියැලුණු කිංස්ලි ටී වික්‍රමරත්න මහතා,  මීට වසර 13 කට පෙර එනම්, 2008 වර්ෂයේ ඔක්තෝබර් මස  1 වන දා  කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත  වන විට 69 වන වියෙහි පසු විය.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ දී ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඔහු ,එතුමියගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ උපදේශකවරයා ද විය.

වර්ෂ 1989 දී කඩුවෙල ආසනය නියෝජනය කරමින්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ජාතික දේශපාලනයට එක්වූ එතුමා, 1994 සිට 2000 වර්ෂයේ  අගෝස්තු අතර කාලය තුළ පොදුජන එක්සත් පෙරමුණු රජයේ,  වෙළඳ , වෙළඳ වාණිජ හා ආහාර පිළිබඳ කැබිනට්  අමාත්‍යධූරය දරමින් මෙන්ම  ජාත්‍යන්තර වෙළඳාම, ආයෝජනය, කාර්මික යටිතල පහසුකම් සහ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අනුබල දීම වෙනුවෙන් වූ කැබිනට් කමිටු වලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් , සිය ප්‍රවීණත්වය තුළින් ජනතාවට සේවයක් සලසන්නට නිරන්තරයෙන් කැප විය.

කොළඹ වෙස්ලි විද්‍යලයෙන් මූලික අධ්‍යපනය ලබමින්, සාර්ථකව ව්‍යයවසායකයෙකු  වීමේ පෙරමඟ ලකුණු පෙන්නුම් කළ ඔහු “එක්සත් රාජධානියේ කළමනාකරණ ආයතනයේ” සාමාජිකයෙක් ද විය.

කළමනාකරණ හා අලෙවි උපදේශකයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු , සිය  විෂය පථයෙහි පරතෙරටම  ප්‍රගුණ කරමින් සාර්ථක ගමන් මගක නියැලුණු අතර,   “ඇමරිකාවේ තරුණ ජනාධිපතිවරුන්ගේ  සංවිධානයට” ඇතුළත් වූ  පළමු ශ්‍රි ලාංකිකයා ලෙස මෙරටට කීර්තියක් අත්කර දුන්නේ

අති සාර්ථක ව්‍යවසායකයකු මෙන් ම නායකයකුද වූ එතුමා ,මෙරට  සෙරෙන්ඩිබ් හෝටල් සමූහයේ සහ  වික්ස් සමාගම් සමූහයේ සභාපති ධූරය දැරූ අතර , ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සමාගමේ විධායක උප සභාපති ධූරයට පත් වූ පළමු ශ්‍රි ලාංකිකයා ලෙස , තමා යටතේ තිබූ  රටවල් 64 ක් පුරා සිය පාලනය මෙහෙයවමින් දක්ෂ කළමනාකරණයක නියැලුණ සුහුරු ව්‍යවසායකයෙකු විය .

1974  වර්ෂයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග දේශපාලන වශයෙන් සම්බන්ධ වූ මෙතුමා, එතැන් පටන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන්, කටයුතු කරන්නට යෙදුනේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රධාන පෙළේ වගකීම් රාශියක් දැරූ කිංස්ලි ටී වික්‍රමරත්න මහතා, 1978 වර්ෂයේදී  දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ  සහකාර ලේකම්වරයා ලෙස තේරී පත්වූ අතර,  ආර්ථිකය, ව්‍යවසාය ,වාණිජ වෙළඳපොළ සම්බන්ධයෙන්  අන් කිසිවෙකු සතු නොවූ ප්‍රවීණත්වයකින් යුතු විය.

ඔහු 1975  වර්ෂයේදී ප්‍රංශයේ පැවති JCI සම්මේලනයට ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අතර  එහිදී ඔහු විසින් ඉදිරිපත් කළ “එක් ආර්ථිකයක්, එක් වෙළදපළක් සහ එක් ලෝකයක්” යන  විස්තරාත්මක පත්‍රිකාව

සහභාගී වූ සියලු දෙනාගේ අවධානයට ලක්විය. එමෙන්ම ඔහු විසින්  සිය දැනුම ඉදිරි පරම්පරාවට දායාද කරනු පිණිස ” හෙට දවසේ ආර්ථිකය” නමින් වූ ග්‍රන්ථයක්ද රචනා කරන්නට යෙදිණි.

ජාතික දේශපාලනයට එක්වන්නට පෙර සිටම,සිය වෘත්තිය නිපුණත්වය තුළින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සහ මහජනතාවට සේවය සැලසූ කිංස්ලි ටී වික්‍රමරත්න මහතා, 1983 වර්ෂයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරිකවරයා ලෙස තේරී පත් විය.

සිය දැනුම හා බුද්ධිය මෙහෙයවමින් දේශපාලනයක නියැළුණු එතුමා,ශ්‍රි  ලංකාව නියෝජනය කරමින්  අන්තර්ජාතික සමුළු රාශියකටද සහභාගි විය.

වර්ෂ 1989 මේ සිට 2000 දක්වා වූ  වසර 11 ක කාලය තුළ , නිදහස් පක්ෂ සාමාජිකයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ එතුමා , මෙරට ආර්ථිකය හා මහජනතාවගේ සුභසිද්ධිය වැඩි දියුණු කිරීම පිණ, අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නොපැකිලිව කටයුතු කරන්නට යෙදුනේය.

පාර්ලිමේන්තු ගමන අවසානයේ  2001  වර්ෂයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරත්වයට පත් වූ එතුමා , 2002 වර්ෂයේදී  දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වූයේ එහි 5 වන  ආණ්ඩුකාරවරයා ලෙසයි.

2001 පෙබරවාරි මස 1 වන දා සිට  2006 ඔක්තෝබර් මස  දක්වා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ එතුමා , ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් හැම විටම පෙනී සිටියේය.

ශ්‍රි ලංකාවෙන් ඔබ්බට රටවල් අති විශාල සංඛ්‍යවක සංචාරය කර ඇති, රටවල් අති විශාල සංඛ්‍යවක මිනිසුන් සමග වෘත්තීයම හා දේශපාලනික වශයෙන් අත්දැකීම් තිබූ එතුමා, ව්‍යවසායක්තවය, ආර්ථිකය හා වාණිජ වෙළඳපොළ පිළිබඳව මහා දැනුම් සම්භාරයක් හෙබි, විශ්ව කොෂයක් බඳු පුද්ගලයෙක් වූ අතර, මිය ගොස් 13 වසරකට පසුවද පක්ෂයක් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙන්ම පාක්ෂිකයන්ටද, සමස්ථ ලාංකිකයන්ටද ඔහුගේ අඩුව තවමත් දැනෙන බව නම් නොඅනුමානය.

You may have missed