රට තුල ඉන්ධන අර්බුදයක් මවමින් ආණ්ඩුව රටට අයත් ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට විකුණා දැමීමේ උත්සාහයක නියැලෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

පසුගිය දා මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව අවදාරණය කරන ලදි.

එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ රජය සතු ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට විකුණා දැමීමට රජය තීරණය කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා,

“අද වන විට රට පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුත්ත සම්පූර්ණයෙන් ම අසාර්ථක ව්‍යාපෘතියක්”

“ටෝකන් ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා ඛනිජ තෙල් ඇමතිතුමා කියනවා. ඒ වගේ ම අංක පිළිවෙළ අනුව සතිපතා තෙල් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වා. ඇත්තට ම එහෙම දෙන්න වත් තෙල් බින්දුවක් මේ රටේ නැහැ”

“දැන් අපූරු විසඳුමක් ඛනිජ තෙල් ඇමැති කියනවා. ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධන හල් විදේශ සමාගම්වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කළ බව ඔහු කියනවා. මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම්වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන්න යි”

“එය කනගාටුදායක තත්ත්වයක්. මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධන හල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළ කරනවා”

“තෙල්, ගෑස්, විදුලිය සැපයීම ආණ්ඩුවේ මූලික වගකීමක්”

“එය ඉෂ්ට කරන්න අසමත් ආණ්ඩුව රටේ සම්පත් විකුණා අර්බුදය අස්සේ මුදල් හම්බ කරන්න හදනවා.”

යනුවෙන් ඒ මහතා එහි දී පවසන ලදි.

You may have missed