සෙංකඩගල ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි වරුණාව….

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) පස්වරුවේ වීදි සංචාරයට එක්විය.

දින පහක් කුඹල් ද, දින පහක් රන්දෝලි ද වශයෙන් ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කළේය.

අවසන් දිනයේ සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණූ කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහරාජා ඇතු සහ කැලණි රජමහ විහාරයේ කණ්ඩුල ඇතු දෑලේ ගමන් ගත්හ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්වූ අතර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවල බස්නායක නිලමේවරුන් ද පෙරහැර ගමනට එක්විය.

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය ද පෙරහැර නැරඹීම සඳහා එක්විය.

අවසන් රන්දෝලි පෙරහැරින් පසුව ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදුණු සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ගෙඩිගේ රජමහ විහාරයේ තැම්පත් කළේය.

පසුව සිව් මහ දේවාල සහභාගීත්වයෙන් දිය කැපීමේ චාරිත්‍රය සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු මෙවර වාර්ෂික පෙරහැර මංගල්‍ය නිමාවට පත් වේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පෙරහැර සාර්ථකව අවසන් කළ බවට සඳහන් සංදේශය ජනාධිපතිවරයා වෙත භාර දීම එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සිදුකෙරේ.

You may have missed