රටේ ඉතිරිව තිබෙන සම්පත් විකිණීමට පොළක් දාන්න සූදානම් වෙනවා…-ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි

මේ රටේ තිබෙන වැදගත්ම ඛනිජ සම්පතක් වන එප්පාවල ඇපටයිට් නිධිය විකිණීමේ සූදානමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. මෙම නිධිය 1971 ප්‍රදේශයේ සිදුකරනු ලබන භූ විද්‍යා සිතියම් ගත කිරීමේ කර්තව්‍යයකදී සොයා ගනු ලබනවා. මේ සොයා ගැනීම ඉතාමත් වැඩදායී වූවාද කියනවා නම්, 1973 වන විට මෙය කර්මාන්තයක් බවට පරිවර්තනය වෙනවා. විශේෂයෙන්ම මෙහි තිබෙන පොස්පේට්, ඇපටයිට්, ඛනිජ, ක්‍රිස්ටල් සහ ඒ අවට තිබෙන පස් එකට කුඩු කරලා දීර්ඝකාලීන භෝග වන තේ, පොල්, රබර් සඳහා ඉතාම කෙටිකාලයකදී පොහොර ලෙස භාවිතා කරන්න පටන් ගන්නවා.

1973 සිට මේ වන විට වසර 50ක් ගතවී තිබෙනවා. අද වන විටත් ඒ මට්ටමේම තමයි මේ පොස්පේට් නිධිය පවතිනු ලබන්නේ. ප්‍රධාන පක්ෂ දෙකක් මුල්කොට ගෙන ආණ්ඩු කිහිපයක් මාරුවෙන් මාරුවට බලයට පත්වී තිබෙනවා. නමුත් ඉන් එහා ගිය නිෂ්පාදනයක් ලෙසට, කර්මාන්ත සඳහා හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා හෝ කොහොමද භාවිතා කරන්නේ කියන එක හෝ විශේෂයෙන්ම සුපර්පොස්පේට් හැදීම සඳහා හෝ ආණ්ඩුවල කිසිදු මැදිහත් වීමක් සිදුකළේ නැහැ. ඔවුන් උත්සාහ කළේ නිධිය විකුණන්නේ කොහොමද කියන එක පමණයි. 1990 දශකයේ මුල භාගය වන විට එවකට කර්මාන්ත ඇමති රනිල් වික්‍රමසිංහ, මෙ රටේ තිබෙන ඛනිජ සම්පත්, අමුද්‍රව්‍ය හැටියට විදෙස් රටවලට ගෙන යාම සඳහා අවශ්‍ය කරන මූලික නීතිමය පදනම හදන්න සූදානම වුණා. ඔහුගේ මැදිහත්වීම මත 1992 අංක 33 දරන භූ විද්‍යා පතල් හා ඛනිජ පනත එළියට එනවා. 1971 භූ විද්‍යා දෙපාර්තමේන්තුව සොයා ගනු ලැබූ ඛනිජ සම්පත, එවැනි දෙපාර්තමේන්තුවක් අහෝසි කොට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බවට පත්කර එහි බලතල 50%කින් සීමා කරන පනතක් ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණේ චන්ද්‍රිකා ආණ්ඩුව 1990 අග භාගය වෙන විට මෙම ඛනිජ සම්පත ප්‍රීපෝර්ට් මැක්මොරන්ට් සමාගමට විකිණීමට සූදානම් වුණා. 1999 පවරණ ලද නඩුවකින් ප්‍රකාශයට පත්වෙනවා මෙය විකිණීම සහ එක්ස්පෝර්ට් කිරීම සම්පූර්ණයෙන් තහනම් කොට තීන්දුවක් ලැබෙනවා. ඒ සමගම එයට අදාළ විශාල කොන්දේසි ප්‍රමාණයක් අඩංගු කරනවා. මේ නඩු තින්දුවත් සමග මෙය විකිණීමට අපහසු වෙනවා.

වර්තමානයේ රනිල් වික්‍රමසිංහ පත්කළ ජනාධිපති බවට පත්වෙලා තිබෙනවා. පොදු පෙරමුණ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු විශාල ප්‍රමාණයක් තමයි ඔහුගේ කැබිනට් එක නියෝජනය කරන්නේ. දැන් ඔවුන් මේ පොස්පේට් නිධිය විකිණීමට සූදානම් වෙමින් ඉන්නවා. ආරම්භයේ මෙටි්‍රක් ටොන් 30,000ක් පමණ විකිණීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්වී අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනවා.

මේ නිධිය රටට අවශ්‍ය කරන ඉතා වැදගත් නිධියක්. විශේෂයෙන්ම පොහොර නිෂ්පාදනයෙන් පොහොර අවශ්‍යතාවය සපුරාගත හැකි වටිනා නිධියක්. ජය ගඟෙන් ඉහළ කොටස (උතුරු කොටස) ගත හොත් ඒ කොටසේ තිබෙනවා මෙට්ටි්‍රක් ටොන් මිලියන 24ක් දැනට සොයාගෙන තිබෙනවා. අපේ වසරකට පොස්පේට් අවශ්‍යතාවය (හාරා කුඩුකර වෙළඳපොළට දාන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 40,000යි) මෙය බෙදා බැලුව හොත් දැනට සොයාගෙන තිබෙන ප්‍රමාණය පමණක් වසර 600කට රොක් පොස්පේට් සෑදීම සඳහා ප්‍රමාණවත්. ඉන් එහා ගොස් සුපර් පොස්පේට් හදනවා නම්, මේ සම්පත වසර 600කටත් වඩා ප්‍රමාණවත් වෙනවා. මේ සම්පත අනෙකුත් කර්මාන්ත හැටියට වන සත්ව ආහාර, පෝසිලේන් නිෂ්පාදනයේදී අවශ්‍ය ග්ලීසින් ප්‍රොඩක්ටර්, වැනි විශාල කර්මාන්ත ප්‍රමාණයකට අවශ්‍ය කරන සම්පතක්.

මේ සම්පත රටේ තිබෙන ආර්ථික අර්බුදය පියවා ගැනීමට කුණු කොල්ලයට විකුණා ගැනීම සඳහා සූදානම්වී සිටිනවා. බඩ පළා බිත්තර ගැනීමකට සූදානම් වෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මේක විශාල ආර්ථික ප්‍රතිලාභයක් රටට ගන්න පුළුවන්. විශේෂයෙන් අනාගත පරම්පරාවට, දූ දරුවන්ට, අවශ්‍ය කරන සම්පතක්. මේක ඉතාමත් වැදගත් සම්පතක්. මේක ආරක්ෂා කරගැනීම අපේ සමාජයේ, විද්වතුන්ගේ වගකිමක්. රටේ ආර්ථික දියුණුවට බද්ධ කර ගත හැකි එකක්. මේ ඛනිජ සම්පත අපනයනය කිරීම සඳහා ඉතිහාසයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත්, ශ්‍රී ලංකා පොදු පෙරමුණු ආණ්ඩු සමයේ මැක්මොරන්ලාට විකිණීමට කටයුතු කළ ඇමතිවරු, මන්ත්‍රීවරු ඔහුගේ ආණ්ඩුවේ සිටිනවා. මේ දෙපාර්ශ්වයම සුසංයොගයෙන් මේ විකිණීමේ ක්‍රියාවලිය ඉතා තීව්‍ර වී තිබෙනවා. මේ විකිණීම සූදානම් කරන අතරතුරේම අනෙකුත් ඛනිජ සම්පත් විකිණීම සඳහා බී.එම්.අයි.සී.එච්. එකේ පොළක් දැමීමට 2023 ඔක්තෝබර් 21, 22 දැමීමට සූදානම් වෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය අරගෙන තිබෙනවා. එහි සඳහන් වෙනවා රජයේ මුදල් වියදම් නොකොට මේ සඳහා ක්‍රියාත්මක වෙන්න කියලා. මෙසේ තිබියදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ පොළ පැවැත්වීම සඳහා බී.එම්.අයි.සී.එච්. එකට මුදල් ගෙවා තිබෙනවා. ඉදිරියේදි අපේ රටේ තිබෙන ඉතිරි ඛනිජ සම්පත් ටිකත් අමුද්‍රව්‍ය ලෙස විකිණීම සඳහා ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාවලිය අපි ජනතාව හැටියට එකමුතු වී පරාජය කළ යුතුයි. මේ සඳහා පෙළ ගැසිය යුතුයි.

තව අවුරුදු 1200කට වත් භාවිතා කරන්න පොස්පේට් නිධිය සංරක්ෂණය කරන්න ඕනෑ..
ආචාර්ය අශෝක රන්වල

ලෝකයේ රටවල්වල තිබෙන ජාතික සම්පත්වලින් වැඩ ගැනීම පිළිබඳව තීන්දු තිරණ ගැනීමේ අයිතිය ඒ රටේ ජනතාවට තිබෙනවා. ලෝකයේ සමහර රටවල පාලකයන් ජනතාව මුලාකරලා ඔවුන්ගේ ලාභ අපේක්ෂාවෙන් රටේ සම්පත් පරිහරණය කිරීම නිසා විනාශයට පත් රටවල් තිබෙනවා. එවැනි රටවල්වලින් ඕනෑතරම් ආදර්ශ ගන්න පුළුවන්. මේ රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන එප්පාවල පොස්පේට් නිධියේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පරිසරවේදීන් හැටියට අපි ඉදිරිපත් වී ක්‍රියාකරනවා. පොස්පේට් නිධිය කියන වටිනා සම්පත බරපතළ උවදුරකට පත්කිරීම වළක්වා ගැනීම වෙනුවෙන් අපි මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කරන්න ක්‍රියා කරනවා.

පොස්පේට් නිධිය සොයාගෙන අවුරුදු පනස් ගණනක් ගතවී තිබුණත් ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් මෙය යොදා ගන්න අපේ රටේ පාලකයන් අසමත්වී සිටිනවා. විශ්වවිද්‍යාලවල පර්යේෂකයන්, ගොවි ජනතාව, සහ ඒ නිධිය ආශ්‍රීතව සිටින ජනතාව එක්කරගෙන එයින් ප්‍රයෝජන ගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුකළේ නැහැ. නමුත් ඒ අතර මැති ඇමතිවරුන් පොස්පේට් නිධිය තමන්ගේ ලාබය වෙනුවෙන් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් විදේශ සමාගම් එක්ක රහසිගත සාකච්ඡා පවත්වනවා. ගොවි ජනතාව සහ වෙනත් කර්මාන්ත සඳහා පොස්පේට් නිධිය පාවිච්චි කරන්නේ කොහොමද කියන කථිකාව ජාතික ජන බලවේගයේ පරිසරවේදීන් විදිහට සහ විද්‍යාඥයන් හැටියට අපි දීර්ඝ වශයෙන් සිදුකර තිබෙනවා. පොස්පේට්වල සංශුද්ධතාවය අනුව අපේ පොස්පේට් නිධිය 90% ඉක්මවූ පිරිසිදුතාවයකින් සමන්විතයි. ලෝකයටම මේ වගේ නිධි තිබෙන්නේ 15කට අඩු ප්‍රමාණයක්. අපේ රටේ තිබෙන්නේ සංශුද්ධතාවය අතින් ඉහළ පොස්පේට් කන්දක්. මේ පොස්පේට්වල දියවීමට තිබෙන ගුණය 2%ත් 5%ත් අතර වෙනවා. මේ ද්‍රාව්‍යතා ගුණය ඉහළට ගෙනඒම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර සකස් කළ වාර්තා විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා.

ජෛව ජනන හා හරිත තාක්ෂණ ආයතනය විදිහට අපිත් මේ නිධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකළා. අපේ පොස්පේට්වල ද්‍රාව්‍යතාවය වැඩිකර ගන්න ක්‍රමදෙකක් භාවිතා කළ හැකියි. රසායනික ජීර්ණ ක්‍රියාවලිය තුළින් ද්‍රාව්‍යතාවය ඉහළ දමා ගැනීම එක් ක්‍රමයක්. ඒ වෙනුවෙන් සල්ෆියුරික් අම්ලය සහ නයිට්්‍රික් අම්ලය යොදාගත හැකි නමුත් තරමක අහිතකර තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ නිසා විකල්ප ක්‍රම ගැන අවධානය යොමු කළ යුතුයි. අපේ පර්යේෂණ අනුව ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය යොදාගෙන මේ ජීර්ණ ක්‍රියාවලිය 27%ක මට්ටමක දක්වා ඉහළ තත්වයකට ගේන්න හැකිවී තිබෙනවා. රොක් පොස්පේට් කෙළින්ම පැලෑටිවලට යෙදවුව හොත් ජීරණය වී උරාගන්න වසර ගණනාවක් යනවා. කෙටිකාලීන භෝගවලට උරාගැනීමේ හැකියාව ඉතාම අඩුයි. මේ නිසා ජලයට එකතු වී වැව් පද්ධතියේ තැන්පත් වෙන්න පුළුවන්. මේ නිසා ජීර්ණය වුණු ද්‍රාව්‍යතාවයෙන් ඉහළ පොස්පේට් යොදා ගන්න පර්යේෂණ බොහෝ දෙනෙක් සිදුකර තිබෙනවා. ජාතික ජන බලවේගය විදිහට මේ පර්යේෂකයන්ගේ ප්‍රතිඵල එක් තැනකට ගොනුකර ගෙන විශ්ලේෂණය කරන්න අපට හැකිවී තිබෙනවා. ඉදිරි අවුරුදු 1200ක් 1300ක් වත් පාවිච්චි කරන්න සුදුසු ආකාරයට අපි මෙය සංරක්ෂණය කරන්න ඕනෑ. ලෝකයේ පිළිගත් ආකාරයත් ඒකයි. තිරසර සංවර්ධනය කියන්නේ ඒකට. අපේ රටේ තිබෙන මේ වටිනා සම්පත ඊළඟ පරම්පරාවට ආරක්ෂා කර දෙන්න වගකීමක් අපට තිබෙනවා.

ඒ වගේම තව පැත්තකින් අපට වගකීමක් පැවරී තිබෙනවා. කෘෂිකර්මාන්තයට අදාළ ප්‍රධාන රසායනික සංරචක වන නයිට්‍රජන්, පොසපරස්, පොටෑසියම් වලින් පොස්පරස් කියන සංරචකය මෙහි තිබෙනවා. මෙ පොස්පේට් නිධිය ලෝකයේ වටිනාම සම්පතක් බවට ඉදිරි දශක දෙක, තුන තුළ තවත් වටිනාකම ඉහළ යනවා. රටවල් කිහිපයක තිබෙන පොස්පේට් නිධි හෑරීම වළක්වා ආරක්ෂා කිරීමේ තත්වයට යොමු වූ රටවල් කිහිපයක්ම තිබෙනවා. අඩු මුදලට පොස්පේට් විකිණීමත් නැවැත්වූ රටවල් තිබෙනවා.

2050 වන විට පොස්පේට්වලට ලෝකයේ විශේෂ ඉල්ලුමක් ඇති වෙනවා. එහෙම නම් බහුජාතික සමාගම් සහ ඒවා සමග ගනුදෙනු කරන තැරැව්කාර මැතිඇමතිවරුන් ඇතුළු පිරිසට අවශ්‍ය ආකාරයට විදේශ සමාගම්වලට විකුණන්න ඉඩදෙන්න බැහැ. වාණිජ භාණ්ඩයක් හැටියට පරිවර්ථනය කර, විකුණන්න ඉඩ දෙන්න බැහැ. මේක විකුණන්න ඕනෑ කරන මතවාදය දැන් වේගයෙන් කාන්දුකරවමින සිටිනවා. පොස්පේට් කර්මාන්තශාලාවේ සේවකයන් අතර යවන ප්‍රචාරයෙන් කියැවෙන්නේ මෙය විකිණීමෙන් සේවකයන් හට විශාල ප්‍රතිලාභ අත්වන බවයි. පොස්පේට් නිධිය ආරක්ෂාකර ගැනීමට දියත් කළ අරගලය බොහෝ කාලයක් පවතිනවා. හාමුදුරුවන් වහන්සේලා මූලිකත්වය ගෙන ක්‍රියාකිරීමේ එක් පියවරකදී අධිකරණය ඉදිරියට ගොස් වාරණ නියෝගයක් පවා ලබාගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය අවස්ථාවේ දේවානම් පියතිස්ස රජතුමාට “ඔබ මේ රටේ අයිතිකරුවා නොවෙයි. බාරකරුවා පමණයි” යනුවෙන් කළ දේශනාව පදනම් කරගෙන අධිකරණ තීන්දු පවා ලබාදී තිබෙනවා.
ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ අපේ රටේ සම්පත්වලට ඇඟිලි ගහන්න ඔබට බාරදී නැති බවයි. ඒ නිසා පොස්පේට් නිධියට අත තියන්න අයිතියක් නැහැ. ලෝකයේ ඇතැම් රටවල් පොස්පේට් විකිණීමෙන් කෙටි කාලයක් තුළ අධික ඩොලර් ප්‍රමාණයක් ඉපයීමට අවස්ථාව දීමෙන් අන්තිමේ භූමියේ ‘ආවාට’ බවට පත්වී දුප්පත් රටවල් බවට පත්වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ පරිසරවේදීන් හැටියට අපි මෙය රැකගන්න ක්‍රියාකරනවා. අනෙකුත් පරිසරවේදීන්, රටේ ජනතාව එකතු වී මෙය රැකගන්න පෙළ ගැසෙමු කියන ඉල්ලීම මහත් ඕනෑ කමින් සිදුකරනවා.

ලෝකයේ රටවල් ලංකාවේ පොස්පේට් නිධියට ඇහැ ගහගෙන ඉන්නේ..
මහාචාර්ය නිශාන්ත පටබැඳි

අපේ රටේ දරුවන් ඇතුළු සියලුම ජනතාවට දියුණු රටක ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේ ඒ රටේ සම්පත් පදනම් කරගෙන. 1970 පමණ වන විට මැදපෙරදිග රටවල් තිබුණේ නොදියුණු මට්ටමක. එම කලාපයේ තිබෙන තෙල් සම්පත බටහිර රටවල්වල උවමනාවලට අනුව ඒ කාලයේ යොදාගනිමින් තිබුණා. නමුත් 1970න් පස්සේ තෙල් සම්පත රජයේ අයිතියට ලබාගෙන මැදපෙරදිග කලාපයේ රටවල් ආර්ථික අතින් ශක්තිමත් තත්වයකට පත්වුණා. ඒවාගේම ලංකාවේ ප්‍රධාන සම්පතක් පොස්පේට් නිධිය. එප්පාවල වර්ග කිලෝමීටර් හතකට වැඩි ප්‍රමාණයක කඳු වළලු හතරක් පමණ ප්‍රදේශයක මේ නිධිය සථානගතවී තිබෙනවා. මේ පොස්පේට්වල ‘කැඞ්මියම්’ කියන බැර ලෝහ ඉතාම සුළු ප්‍රමාණයක් අඩංගු වෙන්නේ. කැඞ්මියම් අඩංගු පොහොර භාවිතයෙන් ලෝකයේ රටවල්වල විශාල ප්‍රශ්න ඇතිවී තිබෙනවා. අපේ රටෙත් මේ දේ සිදුවුණා. ගොවි ජනතාව විශාල පිරිසක් වකුගඩු ගොදුරුවී තිබෙන්නේ මේ හේතුවෙන් බව කියා තිබෙනවා.

අපේ පොස්පේට් නිධිය සාන්ද්‍ර පොස්පේට් බවට පරිවර්තනය කර, ගොවි ජනතාවට ලබාදීමෙන් ආර්ථික වගේම විශාල සෞඛ්‍යමය වැදගත්කමකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ තිබෙන පොස්පේට් නිධි තව අවුරුදු හතළිහකින් පමණ අවසන් වේ යැයි ගණන් බලා තිබෙනවා. නමුත් පොස්පේට් අවශ්‍යතාවය අනම්‍යව පවතිනවා. බටහිර රටවල් සහ කලාපීය බලවතුන් අපේ පොස්පේට් නිධියට විශේෂ අවධානය යොමුකර තිබෙන්නේ ඒ නිසයි. රටක සම්පත් භාවිතයේදී ආර්ථිකමය පැත්තෙන් පමණක් නොබැලිය යුතුයි. තිරසාර අරමුණු එක්ක පාවිච්චි කර, අනාගත පරපුරට ඉතිරි කිරීම ගැන විශේෂයෙන් හිතන්න ඕනෑ. අනාගත පරම්පරාව ගැන අවධානය යොමු කරමින් ක්‍රියා කළ යුතුයි. පොස්පේට් නිධිය අමුද්‍රව්‍යයක් ලෙස වෙළඳපොළට යොමු කරනවා වෙනුවට වැඩි ඵලදායකත්වයක් තිබෙන නිමි හෝ අර්ධ නිමි තත්වයට පරිවර්තනය කර ගත යුතුයි. ලෝකයේ රටක් වැටෙන්න පුළුවන් නරකම තැන “බංකොලොත්භාවය” කියන තැනට අපේ රට පත්කර තිබෙනවා. මෙතෙක් රට පාලනය කළ පාලකයන් කුණු කොල්ලයට මේ රටේ සම්පත් විකිණීමෙන් අද තිබෙන තත්වයට ඇද වැටුණා. රටේ වැදගත් සම්පත් රජයේ මැදිහත්වීම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම ඉතාම වැදගත්. ඒ මත කටයුතු කළහොත් පමණක් තිරසාර ආරථිකය දියුණු කර, අනාගතය වෙනුවෙන් ජීවත්ත වීමට සුදුසු දියුණු රටක් ගොඩනඟන්න හැකිවෙනවා. ඒ අර්ථයෙන් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ කරුණු ජනතාව තේරුම් ගනු ඇතැයි විශ්වාස කරනවා.

අපි නොදන්නා අගයක් පොස්පේට් නිධිය තුළ සැඟවී තිබෙනවා…
පරිසරවේදී පද්මසිරි මූනමලේ

අපේ රටේ ආහාර භෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඉතාම අසීරු අවධියක පසුකලා. කාබනික ගොවිතැන ගැන කතා කරලා, බරපතළ ප්‍රශ්න ඇතිකර, පොහොර නැවක් එනතුරු අපි මඟ බලා සිටියා. අපේ රටේ තිබෙන මහඟු සම්පත් රටේ ජනතාවගේ එදිනෙදා ජීවිත පවත්වාගෙන යාමට යොදා ගන්නේ කෙසේද යන්න ගැන මේ රටේ විද්‍යාඥයන් පර්යේෂණ කර තිබෙනවා. පොහොර තහනම ඇති කිරීමට පෙර සුපර්පොස්පේට් නිෂ්පාදනයට අපේ ඛනිජ සම්පත යොදාගෙන තිබුණා නම්, අපි ඉන්නේ වෙනස් තැනක. නමුත් මේ වටිනා සම්පත අපේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගන්න නිසි ක්‍රමවේදයක් පැවැති ආණ්ඩු කිසිවකින් සකස් කර නැහැ. පොස්පේට් නිධිය යොදාගෙන පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදනයටත් යොදාගැනීමේ හැකියාව තිබෙනවා. මේ දක්වා සොයා නොගත් බොහෝ වටිනාකම් අපේ සම්පත්වල තිබෙනවා. පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මේ දක්වා සොයා නොගත් වටිනාකම් විශාල ප්‍රමාණයක් අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ පර්යේෂණ ස්ථානවල ශ්‍රී ලාංකිකයින් ඉතා කීර්තිමත් විශිෂ්ටයන් වී නව පර්යේෂණවල යෙදී සිටිනවා.

මේ දැනුම යොදාගෙන අප මෙතෙක් සොයා නොගත් විශාල වටිනාකම් ප්‍රමාණයක් අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ජනතාවට අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත් වී මෙය ආරක්ෂා කර ගන්න කියලයි. වර්තමානය ගැන විතරක් හිතලා වෙනත් රටවලට අමුද්‍රව්‍යයක් හැටියට ගෙන යන්න ඉඩසලසා දීමෙන් සමස්ත පරිසර පද්ධතියම විනාශ වීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මෙ ප්‍රදේශයේ ජනතාවගේ සංස්කෘතික පැවැත්ම විනාශ වී සමාජ ව්‍යසනයකටත් මුහුණ දිය හැකියි. ජාතික ජන බලවේගයේ පරිසරවේදියෝ හැටියට අපි අපේ විද්‍යාත්මක දැනුම ලබාදී මේ සම්පත දියුණු කර ගන්න ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන් සමග එක්ව වඩාත් තිරසරව හා බුද්ධිමත්ව කටයුතු කිරීම අපේක්ෂාවයි. තිරසර සංවර්ධන ඉලක්ක කරා රට මෙහෙයවීමට අපි සියලු දෙනා නිසි අවධානයෙන් කටයුතු කළ යුතුයි.

You may have missed