ඉසුරුමත් ලංකාවක් ගොඩනැගීමට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව පෙළ ගැසෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාගෙන් ඉල්ලීමක් කරයි. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බවයි.එබැවින් මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය ,කාරුණික බව, මෘදුබව සහ උපේක්ෂා සහගතබව යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් එම මාර්ගයේ ගමන් කළ යුතු බවයිමේ අතර, බුදු දහමින් පෙන්වා දෙන පරිදි නිසි කළමණාකරණයෙන් පවතින අර්බුදකාරි තත්වය සමනය කිරීමට සැමට දායක විය හැකි බව වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, සැබෑ නිරාමිස සතුට ළඟා කෙරෙන සතර බ්‍රහ්ම විවරණ පෙරටු කර ගත් සමාජයක් තුළ අප කටයුතු කළ යුතු බවයි.බුදු සමය හැම විටම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වෙසක් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, බුදුන් වහන්සේගේ ධර්මය සමස්ත ලෝක සත්වයාටම අනන්‍ය වූ මහා කරුණාවෙන් පිරිපුන් බවයි.ලොව ශ්‍රේෂ්ඨතම ධර්මයක් සරණ ගිය උදාරතර පුරවැසියන් ලෙස ලෝක සත්වයා කෙරෙහි කරුණාව සෙනෙහස දයාව පෙරදැරිව උතුම් තෙමඟුල සමරන්නැයි විපක්ෂ නායකවරයා ප්‍රර්ථනා කරයි.

You may have missed