රාමසාන් දිනය අදට (22) යෙදී තිබේ.

ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් අද දිනය සමරනු ලබයි.

පුරා දින 30ක් උපවාසයේ නිරත වීමෙන් පසුව නව සඳ නිරීක්ෂණය වීමෙන් පසුව ඉස්ලාම් භක්තිකයෝ සිය රාමසාන් උත්සවය සමරති.

රාමසාන් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ විශේෂ පණිවුඩය පහතින්.

“ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත් වූ උපවාස සමය නිමා කර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළය. එය සියලු දෙනාට සැනසුමට හේතුවක් බව නිසැකය.

උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික හා සමාජයීය හර පද්ධතියකින් සමන්විතය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාමත් භක්තියෙන්, අවංකව උපවාස සමයේ වත් පිළිවෙත් ඉටු කිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති.

නිරාහාරව රාමසාන් උපවාස සමය ගත කිරීම පමණක් නොව සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ සංවේදී වෙමින් පරිත්‍යාගශීලිත්වයේ හා සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන වැදගත් අවස්ථාවක් ලෙස ද මෙය සැලකේ.

සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අප තබන පියවරේ දී මෙම සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහ පැවැත්ම උදෙසා යෙදවීමට අප සියලු දෙනා අදිටන් කරගත යුතුය.

ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යාමටත්, නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැඟීමටත් මෙවර රාමසාන් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝක වාසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් රාම්සාන් උත්සවයක් වේවා !

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

You may have missed