ව්‍යාපාරිකයාගේ කර්මාන්ත කඩා වැටෙන්නේ කළමනාකාරිත්වයක් නොමැතිකමින් -ඩඩ්ලි සිරිසේන

අද මාගේ ජීවිතයේ තවත් එක් ජය කණුවක් පසුකර යන දිනයකි. විශේෂයෙන්ම අදට යෙදී ඇති මාගේ උපන්දිනය වෙනුවෙන් මාගේ නවතම ව්‍යාපාරය ඔබ සැමට පොළොන්නරුව ලක්සඋයනේදී අද පටන් විවෘත වනු ඇත. එය බිත්තර වී කර්මාන්තශාලාවක්‍ ය. එයින්, අද වැනි දෙනෙක තම අරමුණු කරා යන ඔබ වෙනුවෙන්ම යම් දෙයක් ප්‍රකාශ කළ යුතුයැයි ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටී.

ඕනෑම ව්‍යාපාරයකින් අපේක්ෂිත අරමුණු ඉටුකරගන්නට බැරි වූ විට බොහෝ පුද්ගලයන් එය අසාර්ථක යැයි පවසති. ලොව පුරා අසාර්ථක ව්‍යාපාර සම්බන්ධයෙන් කෙටි නිරීක්ෂණයක් කළහොත්, ඒ ඇයිද යන්න සම්බන්ධයෙන් අපට ආසන්නතම නිගමයකට එළඹීම එතරම් අපහසු නොවේ.

ඕනෑම පුද්ගලයෙකු සමාජ සේවා හැර අනෙක් සෑම ව්‍යාපාරයක්ම ආරම්භ කරන්නේ යම් යම් අරමුණු සහ ඉලක්ක මත ලාභ ඉපැයීමටය. විශේෂයෙන්ම විවිධ අරමුණු ඇති ව්‍යාපාර අපට හමුවුණත් එයින් බහුතරයක මූලික අරමුණ වන්නේද ලාභ ඉපැයීමය.

මේවා අතුරින් බොහෝ සුළු ව්‍යාපාර හිටිහැටියේම කඩා වැටීමට බලපාන හේතුවලින් රැසක්ම ව්‍යවසායකයාගේ කළමණාකාරීත්වයක් නොමැතිකමෙන් පැනනඟින ඒවාය. මෙවැනි ව්‍යාපාර කඩා වැටීම් දෙස කල්පනාකාරීව සහ සුභවාදීව බැලූවිට පෙනී යන්නේ එම ව්‍යාපාරය තුළින්ම හෝ ව්‍යවසායකයාගේ අඩුපාඩුකම් මත මෙවැනි කඩාවැටීම් සිදුව ඇති බවය.

එහෙත්, අඩුපාඩු මගහරවාගණිමින් නිසි ක්‍රමෝපායන් භාවිතා කළේ නම් එම කඩාවැටීම් වළක්වාගත හැකිව තිබූ බව කාලයත් සමඟ ඔබ හට අවබෝධ වනවිට අශ්වයා ඉස්තාලයෙන් පළාගොස් අවසන්ව ඇති බව ඔබට වැටහී තිබෙන්නට ඇත.

විශේෂයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබට මූලික වශයෙන්ම සැලැසුමක් තිබිය යුතුය. එසේ සැළසුමක් නොමැති ව්‍යාපාර කිසිදිනෙක සාර්ථක වන්නේ නැති බව අප අත්දැකීමෙන් දැක ඇත.

ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් මනා සංවිධානයක් තිබිය යුතුය. ඔබ කඩයක්, හෝටලයක් වැනි යමක් ආරම්භ කරන්නේ නම් එහි දාමය සහ පුරුක් ( Audience & External Links) සම්බන්ධයෙන් ඔබේ අධ්‍යයනයක් තිබිය යුතුය.

විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් සැපයුම්කරුවන් සමඟ කටයුතු කිරීමේ දී පරෙස්සම් සහගත වීම සහ තම වෙළදපොළ තරගකාරිත්වය පිළිඹඳව හොඳින් අවබෝධයක් ගත යුතුය.

ඕනෑම් ව්‍යාපාරයක් සාර්ථක වන්නේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ සාර්ථකත්වය මත සහ මූල්‍ය කළමණාකාරණයේ දක්ෂතාවන් නිසා බව අවබෝධ කරගත යුතුය. විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාරය වටා ඇති මානව සම්පත ( Human Resource ) සම්බන්ධයෙන් ඔබ සැළකිලිමත් විය යුතුය.

එම නිසා අලුතෙන්ම ව්‍යාපාර ආරම්භ කරනා බොහෝ ව්‍යවසායකයන් ප්‍රමාණයක් තම ව්‍යාපාරය සාර්ථකකර ගැනීම වෙනුවෙන් කැපවීම හෝ මහන්සි වී වැඩ කිරීම පමණක් සෑහේ යැයි සිතන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදිය. ඔබේ කැපවීම සහ මහන්සි වී වැඩ කිරීම යන කරුණු අවශ්‍ය වන්නේ ඉහත මා සඳහන් කළ කරුණු වෙනුවෙන්ය. එහෙයින්, ඔබ මහන්සි විය යුත්තේ ඔබේ ඒ අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්ය.

ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා මඟ පෑදෙන්නේ ව්‍යවසායකයා සතු හැකියාවන් සහ ඔහු සතු සීමිත සම්පත්, සාර්ථකව ව්‍යාපාරයේ අරමුණු කරා මෙහෙයවීමට ඔහුට ඇති හැකියාවෙනි. තමන්ගේ සමීපතමයෙක් වාහන ගරාජයක් දමාගෙන එයින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගත් නිසා හෝ, තවත් හිතවතෙකු සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය පළියටම එය ඔබට සුදුසු ව්‍යාපාරයක් බව තීරණය කළ නොහැකිය.

නිෂ්පාදන භාණ්ඩ හෝ සේවාවල තත්ත්වය, ගණුදෙනුකරුවන් සොයා ගැනීම, අමුද්‍රව්‍ය සැපයුම නොකඩවා පවත්වා ගැනීම, නිසි කලට සැපයුම්කරුවන්ට හා සේවකයන්ට ගෙවීම් කිරීම, ගණුදෙනු පිළිබඳ පොත්පත් තබා ගැනීම, නිසි කලට බදු ණය හා පොළී ගෙවීම්, තමාට ලැබිය යුතු ආදායම් අයකර ගැනීම, ව්‍යාපාර ආයතනය වාහන සහ යන්ත්‍රෝපකරණ යනාදියෙහි නඩත්තු කටයුතු මෙන් ම සේවකයන් පුහුණුව, පාලනය, දිරිමත් කිරීම යනාදිය ද ඔබ දිනපතා සොයා බැලිය යුතු අංශ අතරට අයත්ය.

ඉහත කී කරුණු සියල්ල අකුරටම පිළිපැද්දද, ඔබේ ව්‍යාපාරය අලාභ වන අවස්ථා පැමිණිය හැක. එහෙත් අලාභ යනු හුදෙක් ලාභ ඉපැයීමේ සහ ව්‍යාපාර කළමණාකාරණය කිරීමේ මූලික සිද්ධාන්තය බව නොදැන බොහෝ අය එම ව්‍යාපාර අත්හැර දැමීමට කටයුතු කරති.

විශේෂයෙන්ම ව්‍යවසායකයාගේ හෝ ව්‍යාපාරිකයාගේ දක්ෂතාවය යනු තමන්ගේ ව්‍යාපාරයේ අලාභ එන තැන් සොයා බලා ඒවාට පිළියම් යෙදීමේ හැකියාවය. එසේ කඩිනමින් ඒවාට පිළියම් යොදා අඩුපාඩු මතින් අලුගසා දමා ඔබට නැවතත් සමාජයේ නැඟීසිටිය හැකි බව මා පවසන්නේ දශක හතරකට වැඩි මාගේ ව්‍යාපාරික අත්දැකීමෙන්ය.

You may have missed